වෙරිටේ රිසර්ච් (VeritéResearch) ආයතනයට අයත් වෙරිටේ මාධ්‍ය සහ දේශපාලන අංශය, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳව වෘත්තීමය මෙන්ම ගෞරවනීය ලෙස වාර්තා කිරීම ශක්තිමත් කිරීම අරමුණු කරගත් මූලික පියවර දෙකක් ඉදිරිපත් කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (16) ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න හමු විය.
නෙදර්ලන්ත රාජධානියේ තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව සකස් කරන ලද, 'වෘත්තීය පුවත්පත් කලාව සඳහා අත්පොතක්: ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැනු දරුවන් පිළිබඳව වාර්තා කිරීම' නමැති අත්පොත මෙම කණ්ඩායම විසින් මෙහි දී පිළිගන්වන ලදි. මාධ්‍ය ආවරණයන්හි යළි යළිත් සිදුවන රටා හඳුනා ගැනීමට සහ ප්රවෘත්තිවල පෙනී සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන වාර්තා කිරීම්වල නිවැරදි, සාධාරණ සහ ගෞරවාන්විත බව තහවුරු කිරීම උදෙසා වඩාත් ශක්තිමත් වෘත්තීය විනිශ්චයක් භාවිතා කිරීමට මෙම අත්පොත මාධ්‍යවේදීන්ට උපකාරී වේ.
ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ සඳහා උපදේශනය - යල්පැන ගිය පාරිභාෂිතයට ආමන්ත්‍රණය කිරීම
යල්පැන ගිය සහ නුසුදුසු යෙදුමක් වන ස්ත්‍රී “දූෂණය” වෙනුවට වඩාත් නිවැරදි සහ සිදුවීමට මුහුණ දුන් පුද්ගලයා “කිළිටි” හෝ “අපවිත්‍ර” ලෙස නොහඳුන්වන පාරිභාෂික වචනයක් යොදා ගනිමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින යෝජනාවක් ද මෙම කණ්ඩායම විසින් භාර දෙන ලදි.
ස්වාධීන මාධ්‍ය නිරීක්ෂණ පර්යන්තයක් වන එතික්ස් අයි (EthicsEye) විසින් දශකයකට වැඩි කාලයක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණ සහ ජ්‍යෙෂ්ඨ සිංහල භාෂා ශාස්ත්රාලිකයින් මෙන්ම නීති විශේෂඥයින් සමග කරන ලද සාකච්ඡා මත මෙම යෝජනාව පදනම් වී ඇත. යෝජිත ව්‍යවස්ථාදායක සංශෝධනයේ කොටසක් ලෙස සලකා බැලීම සඳහා විකල්ප පාරිභාෂිතයක් මෙමගින් ඉදිරිපත් කරනු ලබයි. මෙම යෝජනාව වෙරිටේ මාධ්‍ය සහ දේශපාලන අංශය විසින් තම අරමුදල් යොදා ගනිමින් ස්වාධීනව සිදුකරන ලද පර්යේෂණයක ප්රතිඵලයකි.
වෙරිටේ මාධ්‍ය සහ දේශපාලන අංශය නියෝජනය කරමින් එහි ප්‍රධානී දීපාංජලී අබේවර්දන, කණ්ඩායම් නායිකා මහෝෂධී පීරිස් සහ වැඩසටහන් ප්‍රධානී රොෂෙල් කනගසබේ මෙම අවස්ථාවට සහභාගී වූහ. ඔවුන් සමග නෙදර්ලන්ත රාජ්‍යයේ තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබද ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක නාමල් පෙරේරා ද එක් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
