Language Switcher

V2025

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් නිපදවීමේ තරඟයක්...

ලොව පුරා ලක්ෂ ගණනාවක ජනතාවක් මරා දමමින් හා රෝගීන් බවට පත් කරමින් මුළු ලොව පුරා පැතිර යන මාරාන්තික කොරෝනා වෛරසය මර්ධනය කිරීමට ඖෂධයක් සොයා ගැනීමට තවමත් කිසිවෙකුට හැකි වී නොමැත.

ලෝකයේ බලවත්ම රටවල් පවා, පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට ඇද දැමීමට තරම් බලවත් වූ කොරෝනා වෛරසය, ලෝක බලවතුන් අසරණ කරමින් තවමත් සිය අණසක මුළු ලොව පතුරුවමින් සිටී.

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සඳහා මුළු ලොව පුරා රෝහල් මගින් ප්‍රතිකාර ලබා දුන්න ද , ඒ කිසිදු ඖෂධයක් කොරෝනා වෛරසය සඳහාම නිර්මාණය කළ ඖෂධ නොවේ.

ඒ අනුව ගත් කල කොරෝනා රෝගය ආසාදිතව පසුව සුව වී ඇත්නම් ඒ ඔහු තුළ තිබූ ප්‍රතිශක්තිකරණ හැකියාවේ බලවත්කම නිසා පමණි.

කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධයක් සොයා ගැනීම සඳහා ලොව බලවත් රටවල් මේ වන විට විශාල උත්සාහයක යෙදී සිටිති.

ඒ අතුරින් ප්‍රංශය මෙ වනවිට කෝවිඩ් -19 එරෙහි ඖෂධයක් සෙවීම සඳහා සායනික අත්හදා බැලීම් ගණනාවක් සිදු කරමින් සිටී

මෙම අත්හදා බැලීම් පිළිබඳව යාවත්කාලීන කිරීමක් ප්‍රංශය විසින් ඊයේ (20) දිනයේදී සිදු කැරිණි.

මෙම යාවත්කලීන කිරීම සිදු කරනු ලැබුවේ, ප්‍රංශයේ ලියොන් ( Lyon) නගරයේ පිහිටි රතු කුරුස සිවිල් රෝහලේ බෝවන රෝග සහ පෙනහළු රෝග පිළිබඳ විශෙෂඥ ෆ්ලොරොන්ස් අදෙ ( Florenc Ader) මහාචාර්‍යවරියයි.

කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක ඩිස්කවරි සායනක අත්හදා බැලීම් වැඩසටහනේ සම්බන්ධීකාරක කටයුතු කරන ෆ්ලොරොන්ස් අදේ , මෙම අත්හදා බැලීම් වලට භාජණය වන අණු සහ ඖෂධ පිළිබඳව පැහැදිලි කිරීමක් කළාය.

ඇය විශේෂයෙන් ක්ලෝරොක්වීන් සහ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ගැන සඳහන් කළාය.

කොරෝනා වෛරසය සඳහාම ඖෂධයක් නිර්මාණය කර නොමැති අවස්ථාවක කොරෝනා වෛරසය ආසාදිත රෝගියකු සඳහා මෙවැනි ඖෂධ භාවිතා කරන්නේ නම්, එය රෝගියාගේ ආරක්ෂාව සඳහා කරන ඔට්ටු තැබීමක් බව ඇය කියා සිටියාය.

මෙම ඖෂධ , ආශ්චර්යවත් ඖෂධ නොවන බව පවසන මහාචාර්යවරිය, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ජනනය කිරීමට තරම් නිශ්චිත වූ එන්නතක් සොයා ගැනීම තම වැඩසටහනේ ඉලක්කය වී ඇති බවද, ඒ අනුව " පාස්චර් " ආයතනය මේ ගිම්හානයේ දී අදාල එන්නත් මිනිසුන් සඳහා අත්හදා බැලීමට නියමිත බවත් කියා සිටියා ය.

ප්‍රංශයේ " පාස්චර් " ආයතනය (L' Institut Pasteur ) කොරෝනා වෛරසයට එරෙහිව නිපදවන එන්නත සඳහා යොදාගනිමින් සිටින්නේ සරම්ප වෛරසය බවට වාර්තා වී තිබේ.

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවමින් සිටින ජර්මානු සමාගමක් වන Cure Vac සිය පළමු පරීක්ෂණය ජූලි මස වන විට සිදු කිරීමටත් අනතුරුව එය අලෙවිය සඳහා වෙළෙඳ පොලට නිකුත් කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටී.

ජපන් රසායනාගාරයක් වන ඒන්ජල් , ඉතා ඉක්මනින් එන්නතක් පරීක්ෂා කරණ බවත්, ARN නම්වූ එම එන්නත පළමුවෙන් සතුන් සඳහා යොදා පරීක්ෂා කිරීමට නියමිත බවත් පවසනාවා.

මේ අතර ඇමරිකානු සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම පවසන්නේ තමන් නිශ්පාදනය කරනු ලබන එන්නත විශේෂයෙන් තෝරාගත් මිනිසුන් යොදා ගනිමින් අත්හදා බලා පරීක්ෂා කොට වර්ෂ 2021 මුල් භාගයේදී අලෙවි කිරීමට සැලසුම් කොට ඇති බවයි

වෛරසය මේ වන විට සෙමින් පරිණාමය වීම එන්නත් සෙවීමේ තරඟයට සුභ ආරංචියක් වී ඇති බව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ අණුක පරිණාමීය ජීව විද්‍යාඥයෙකු වූ ඇන්ඩෲ රම්බොට් පවසනවා.

මේ අතර, ප්‍රංශයේ තුළ කොරෝනා වෛරසයේ ව්‍යෑප්තිය පිළිබඳ නවතම තොරතුරු ඊයේ සවස ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒම සංඛ්‍යා ලේඛන වලට අනුව අප්‍රේල් 20 වැනිදායින් අවසන් වූ පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදනයවීමේන් මිය ගිය පුද්ගලයන් ප්‍රමාණය 547 කි.

ප්‍රංශය තුළ සොයාගත් ආසාදිතයන් ප්‍රමාණය 1, 14, 657 ක් වන අතර රෝහල්ගතව සිටින රෝගීන් සංඛ්‍යාව 30, 584 කි.

මේ වන විට දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් ගණන 5, 683 කි.

ප්‍රංශය තුළ මෙතෙක් මියගොස් ඇති ප්‍රමාණය 20, 265 ක් වන අතර රෝහල්ගතව සිට සුව වී පිටව ගොස් ඇති ප්‍රමාණය 37, 409 කි.

( සුනිල් ගාමිණී - ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙනි )