Language Switcher

V2025

ඉන්දීය දේශපාලනය තුළ පිබිදෙන වන මල !

අන්තර්කරණය පිළිබඳව, ලෝක දේශපාලනය තුළ මෑතකාලීන ඕනෑ තරම් උදාහරණ තිබේ. ඇමරිකාවේ උප ජනාධිපතිනිය වන කමලා හැරිස්ගේ දේශපාලන ආගමනය, නවසීලන්තයේ ජසින්ඩා ආඩන්ගේ ඇමති මණ්ඩලය තුළ ඇති වාර්ගික මෙන්ම ආදීවාසී ස්ත්‍රීන්ගේ සංකලනය ද අන්තර්කරණය පිළිබඳව මෑතකාලීන ලෝක ආදර්ශයන් වේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික දේශපාලන අර්බුදය තුළ ලෝක ආදර්ශ ලබා දීමට තිබූ අවස්ථාවන් අප විසින් මේ වන විටත් මඟ හැර තිබේ. උප කථානායකවරිය ද ජනාධිපති හෝ අගමැතිවරියකු ලෙස කාන්තාවකට පත්වීමට තිබූ අවස්ථාවන් කැත දේශපාලන ගණුදෙණු නිසා ගිලීහී ගොස් ඇත.

ලංකාවේ පවතින දේශපාලන සංකීර්ණත්වය තුළ දේශපාලනය සඳහා ශක්‍යතාවයක් තිබෙන කාන්තාවකට වුවත් මෙවැනි තනතුරුවලට ලඟාවීමට පහසු නොවේ. එය අසීරු කටයුත්තකි. අප සැවොම එකතු වී එම පරිසරය අනිවාර්යෙන්ම ගොඩනැඟිය යුතුයි.

ඒ නිසා ලංකාවටම ආවේණීක, පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතිය විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ හර පද්ධතිය කුණු කර ඔජස් ගලන තත්ත්වයකට අද පත් කර ඇත. ප්‍රභූ දේශපාලන දවටනය තුළ ක්‍රියාත්මක වන පාදඩ දේශපාලන ආකෘතිය විසින් සියලු සාධනීය අවස්ථා උදුරා දමා ඇත.

ලංකාවේ දේශපාලන දිශානතීය පිළිබඳ උකටලී වි සිටින මොහොතක ඉන්දියාව දෙසින් ඇසෙන අන්තර්කරණ දේශපාලනය (Inclusion Politics) පිළිබඳ සුබාරංචිය ඉවත දැමිය නොහැකිය.

ද්‍රොරපති මුර්මුගේ ජනතා තේරීම සුළුවට තැකිය ද නොහැකිය. පද්ධති වෙනසක් ගැන කතා කරන ලංකාවේ දේශපලානයෙහි විවිධත්වය නියෝජනය කරන ප්‍රජාවන් අන්තර්කරණය සිදු කිරීමට නොහැකි යන මිථ්‍යාවෙන් ද බැහැරව සිතා බැලීමට අවස්ථාවක් ඉන්දීය දේශපාලන සන්සිද්ධිය මඟින් උදා වී ඇත.

ඉන්දීය අගමැති නරේද්‍ර මෝදීගේ ජාතිවාදී, පුරුෂාධීපත්‍ය දේශපාලන භාවිතය බොහෝ විවේචනයන්ට ලක්ව තිබේ. ඒ කෙසේ වෙතත්, ඉන්දියාවේ ජනාධිපති තනතුරේ අධීකාරී බලයක් නොතිබුණත් ආදීවාසී නියෝජනයක් සහිත කාන්තාවක් ශ්‍රේෂ්ඨත්වයට ලඟා කර වීමට පරිසරය සකස් කිරීම පිළිබඳව ඉදිරිගාමී දේශපාලන භාවිතයන් පිළිබඳ විශ්වාස කරන ප්‍රගිතිශීලින්ට සතුටු විය හැකිය.

ඉන්දීය මාධ්‍ හුවා දක්වන ආකාරයට දේශපාලන ගේම් මෙහි කොතෙකුත් තිබිය හැකිය. ඉන්දීයාවේ ප්‍රබල පක්ෂ වන, භාරතීය ජනතා පක්ෂයත් ක්‍රොන්ග්‍රස් පක්ෂයත් ආදීවාසී අනන්‍යතා සහිත ප්‍රජාවන් අන්තර්කරණ දේශපාලනය පිළිබඳ විශාල නැමියාවක් වර්තමානයේ දක්නට තිබේ. එම තරඟය නිසා ද නිදහසින් පසු ද්‍රොරපති මුර්මු වැනි ආදීවාසී කාන්තාවකට ජාතික දේශපාලනය තුළ ජනාධිපතිවීමට අවස්ථා සැලසුණා ද විය හැකියි.

ඉන්දියාවේ පශ්චාත් අධ්‍යාපනය ලැබූ (2012-2014) ලැබුවෙකු ලෙස මා, ඉන්දියාවේ සමාජ ආර්ථික දේශපාලන සංදර්භය තේරුම් ගන්නේ වඩා හොඳ වගේම වඩා නරක දේවල් ද ඉන්දියාව තුළ නිරන්තරයෙන් සිදුවන භූ කලාපයක් ලෙසයි.

තවමත් අන්ත හින්දු ජාතිවාදී, අන්ත කුලවාදී දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟී තිබෙද්දීත් නව ප්‍රජාතන්ත්‍රවාදී ඇගයුම් තරඟකාරී ලෙස ආරෝපණය කර ගැනීමට ඇති උනන්දුවත් ඔවුන්ගේ නිදහස් ව්‍යාපරයේ සිටම දැකිය හැකිය.

එවැනි සංදර්භයක ඉන්දියාවේ වත්මන් අගමැතිගේ ජාතිවාදී මෙන්ම පුරුෂවාදී දේශපාලන නිර්ණායකයන් ද එම කතිකාවට ඔබ්බට ගොස් ඔහුගේ දේශපාලන භාවිතය ද අලුතින් කියවා ගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය.

ලංකාවේ ජාතිකවාදී යැයි කියා ගන්නා දේශපාලඥයින් ජාතිවාදී මඩගොහුරේ ගිලී හිරිකිත බල ක්‍රීඩාවේ නිරත වන විට එවැනි මොඩලයේ කෙනෙකු වන මෝදි ගේම ගහන්නේ වෙනස් විදිහටයි.

ඇගේ ජයග්‍රහණය පිළිබඳව මෝදි අර්ථකථනය කරන්නේ සංවර්ධන ගමන ශක්තිමත් කරන විශිෂ්ට ජනාධිපතිවරියක් වනු නිසැක බව සඳහන් කරමිනි."ඇයගේ වාර්තාගත ජයග්‍රහණය අපගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා හොඳ පෙරනිමිත්තක්" යැයි ද මෝදි ට්විටර් පණිවුඩයක් මඟින් නිකුත් කළේය.

ලංකාවේ පාදඩ ප්‍රභූ දේශපාලනයට ජනතා අපකීර්තියට පත් වී තිබිය දීත් අඩුම තරමේ ඉන්දීය දේශපාලනයෙන් ආදර්ශ ලබා ගන්න යැයි අවධාරණය කරමි. පොත් කඳු ගොඩගසා ගත් ප්‍රජාතන්ත්‍රාවදී නරුමයන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අන්තර්කරණ මූලධර්ම යළි සිහිපත් කර දෙමි.

ඉන්දියාවේ 15 වැනි මෙන්ම දෙවනි කාන්තා ජනාධිපතිවරිය ලෙස ද්‍රොරපති මුර්මුගේ චාරිතානූකූලව දිව්රුම් දීම ජුලි 24 වැනි දා සිදු වනු ඇත. එම දිව්රුම් දීමෙන් විශද වන්නේ, ඇය ඒ වන විටත් හුදු ආදීවාසී කාන්තාවක් නොවන අතර සමස්ත ඉන්දීය ජනතාවගේ ජනාධිපතීනිය ලෙස හැඳින්වන බවයි. මෙවැනි ආන්තිකරණයට ලක් වූ ප්‍රජාවන්ට සිදුකළ හැකි ඉහළම ගෞරවාදරය මෙයම නොවේද?

ඇයගේ දේශපාලන ගමන් මඟ විමසන විට , 1850 ගණන්වල බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි නැගිටීම සඳහා ප්‍රසිද්ධියට පත් වූ ඉන්දියාවේ පැරණිතම සහ විශාලතම ගෝත්‍රවලින් එකක් වන සන්තාල්හි සාමාජිකාවක් ලෙස හඳුනාගත හැකි බවයි. ඇය උපර්බෙදගේ ගම් සභාවේ සාමාජිකයෙකු වූ සහල් ගොවියෙකුට දාව උපත ලැබුවෙකි. ඇයගේ පියා මෙන්ම සීයා ද ගම්පතියන් වූහ.

කුඩා කාලයේ දුෂ්කර ජීවිතයක් ගත කරමින් පාසලට ගොස් රාත්‍රියේ භූමිතෙල් ලාම්පුවෙන් ඉගෙන ගත් තැනැත්තියක් ලෙස ද ඇය හඳුන්වයි. පසුකාලයේ කාන්තාවන්ට දේශපාලනය පිවිසීම පිළිබඳව තීබු පිළිගැනීම වැනි සාම්ප්‍රදායික අභියෝගය බිඳ දමමින් 1997 සිට භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනයට පිවිසි බව ද ඉන්දීය මාධ්‍යයන්හි සඳහන් වේ.

ගුරුවරියක් ලෙස ඇගේ භූමීකාව ද, මෑතක් වන තුරුම ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස ද මුර්මු මහත්මියගේ දේශපාලන කාර්යභාරය ඇගේ දේශපාලන ගමන් මඟ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඉස්මතු වේ.

උපර්බෙඩා ග්‍රාමයේ, ඇය අයත් ප්‍රජාව තවමත් දර යොදා ගනිමින් උයන, අතින් වතුර අඳින, විදුලි බලය ලැබී නැති ගමක් බවත් ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි. ඇගේ ජයග්‍රහණය සමඟම ඇගේ ප්‍රජාවගේ බලාපොරොත්තු නම් " පිරිසිදු නළ ජලය, රෝහලක් සහ අපගේ නව ජනාධිපතිවරියගෙන් දරුවන්ට වඩා හොඳ පාසලක් බලාපොරොත්තු වන බවයි.

එබැවින් ඉන්දියාවේ ජනගහනයෙන් 10% කට ආසන්න ප්‍රමාණයක් වන සමාජ ආර්ථික වශයෙන් ආන්තික ජනගහනයක් වන රටේ ආදිවාසී ප්‍රජාවන්ගේ පළමුවැන්නා වීමත් ඉන්දීය දේශපාලනය තුළ වැදගත් සලකුණක් සනිටුහන් කරයි.

ඉන්දීය දේශපාලන විද්වතුන් මෙය දේශපාලන නාට්‍යයක් ලෙසද හුවා දක්වයි. හින්දු ජාතිකවාදී පක්ෂයක් වන B.J.P. ඔවුන් ජනගහනයෙන් හතරෙන් එකක් පමණ වන ඔඩීෂා වැනි ප්‍රාන්තවල ගෝත්‍රික ඡන්දදායකයින් සමඟ ප්‍රවේශ වීමට වසර ගණනාවක් තිස්සේ උත්සාහ කරනු ලබන බව දක්වයි.

අන්තර්කරණ දේශපාලනය මුවාවෙන් සිදුකරන දේශපාලන ක්‍රීඩාවක් ලෙස ද දක්වනු ලබයි.විශේෂයෙන් "පහත් කුල, ආන්තික හා ගෝත්‍රිකයන්ගේ පක්ෂයක් බව, ඔවුන්ට ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය අදහසක් බව" අනන්‍යතා දේශපාලනය පිළිබඳ විශේෂඥ දිල්ලියේ ජවහර් ලාල් නේරු විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන පිළිබඳ මහාචාර්ය හරීෂ් වන්ඛඩේ පවසයි.

අපේ කලාපයේ ලොකු අයියා වන ඉන්දියාව සමඟ ලාංකීය දේශපාලනය සන්සන්දනය කිරීමේ ප්‍රජාතන්ත්‍ර ආයතන වල ඇති ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. ඉන්දීය පක්ෂ අතර තරඟකාරීත්වය කොතෙක් තිබුණත් එහි දේශපාලනය හඳුනාගත හැක්කේ, සුදුසු වෙලාවේ සුදුසු වෙනස්කම් සිදුකරන රාජ්‍යයක් ලෙසයි. එයට කදිම උදාහරණය ඉන්දීය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට අබේකාර්ට අවස්ථාව ලබා දීමත් දැක්විය හැකියි.

මෝදී ඇතුළු භාරතීය ජනතා පක්ෂය ඇයව ජනාධිපතිවරණයට නිර්දේශ කිරීමත්, ඇයට එම අවස්ථාවන් උදාකර දීමත් පිළිබඳව පැහැදීමක් සැබවින්ම ඇතිවේ. තවමත් කුලය ඇතුළු නොයෙකුත් සංස්කෘතික බෙදීම් ගණනාවක් ඉන්දියාවේ පවත්වාගෙන යද්දි, මෙම සිදුවීම මඟින් අර්ථනිරූපණය කරන්නේ අන්තර්කරණය දේශපාලනය පිළිබඳ ඉදිරිගාමී ආදර්ශයක් ඉන්දියාවෙන් සනිටුහන් කරන බවයි.

විරුද්ධ පාර්ශවයන් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීට එරෙහිව ප්‍රතිවිරෝධතා වල ගැබ්වී ඇති ජාතිවාදී ලේබලය යම් මට්ටමක ලිහිල් කිරීමටත් මෙම පත්කිරීම හේතු විය හැකියි. එසේම ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් කෙරෙහි යොමු වීම කෙරෙහි ප්‍රසංසාවකුත් ඔවුන් කෙරෙහි ගොඩනැඟීමට අවස්ථාවක් ද විවර වේ.

චන්දිමා ජයසේන