ඇමරිකාවෙන් රුසියාවට චෝදනා !

ඇමරිකාවෙන් රුසියාවට චෝදනා !

එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට පනවන ලද සම්බාධක කඩ කළ තම ජාතිකයන් ආරක්ෂා කිරීමට රුසියාව කටයුතු කරමින් සිටින බවට ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකි හේලී චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

සම්බාධක උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සකසන ලද ස්වාධීන වාර්තාව වෙනස් කිරීමට රුසියාව උත්සාහ කරන බව සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා තානාපතිනි නිකී හේලී එලෙස චෝදනා කර ඇත. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉල්ලීමකට අනුව උතුරු කොරියාවට පනවන ලද සම්බාධක ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විමසා බැලීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලබන සඳුඳා රැස්වන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත්කර සිටින ඇමෙරිකා එක්සත් ජනපද දූත පිරිස සඳහන් කර ඇත. උතුරු කොරියාවට පනවන ලද සම්බාධක සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුව පසුගිය මාසයේදී ආරක්ෂක කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කළේය.  උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නවත්වා නැතැයි ද එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝණය කරමින් අපනයන කටයුතුවල නිරත වන බව ද එම වාර්තාවෙන් අනාවරණය කරන ලදි.  

අදාළ වාර්තාව සංශෝධනය කරන්නැයි රුසියාව ස්වාධීන නිරීක්ෂකයන්ට පීඩනයක් එල්ල කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.  මෙම වාර්තාව ප්‍රකාශයට පත් කරන්නේ නැද්ද යන්න සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය පොදු සම්මුතියක් සහිතව එකඟ විය යුතුය.

කෙසේ නමුත් සංශෝධනය කරන ලද ලියවිල්ල ප්‍රකාශයට පත් කරන්නේ නම් තමන් ඊට විරුද්ධ වන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත.  “රුසියාවට එය සංශෝධනය කරන්න ඉඩ දෙන්න බැහැ. ඔවුන්ට බැහැ ස්වාධීන එක්සත් ජාතීන්ගේ වාර්තාවලට බාධා කරන්න. එහි තිබෙන දේවල්වලට ඔවුන් කැමැති නැහැ කියලා ඔවුන්ට වුවමනා දේවල් කරන්න දෙන්න බෑ” යැයි නිකි හේලී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.

“එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ සහ යෝජනා ක්‍රියාත්මත අනිවාර්යයි. රුසියාව ද ඇතුළුව සෑම සාමාජික රටක්ම ඊට බැඳි සිටිනවා. සෑම සාමාජික රටක්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි” නිකී හේලී තවදුරටත් සඳහන් කළාය.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න