Language Switcher

V2025

වෙනිසුවෙලා අර්බුදය: මදුරෝගෙන් "බලය ලබාගැනීමේ" තැත රුසියාව හෙළා දකී !

වෙනිසුවෙලාහි "බලය ලබාගැනීමේ" අරමුණින් යැයි පවසමින් එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස තමන්ව හඳුන්වා ගන්නා විපක්ෂ නායකයෙකුට සහය දීමට විදේශ බලවතුන් ඉදිරිපත් වීම රුසියාව හෙළා දැක තිබේ.

මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් ලෙස හඳුන්වන මොස්කව් පාලනය, එය "ලේ ගැලීමකට සෘජු මාවතක්" බව කියා සිටී.

බදාදා දිනයේදී (ජන. 23) තමන් අන්තර්වාර නායකයා ලෙස ජුවාන් ගුඅයිඩෝ ප්‍රකාශයට පත් කිරීම ඇමෙරිකාව සහ තවත් රටවල් කිහිපයක් විසින් පිළිගනු ලැබ ඇත.

මීට ප්‍රතිචාර දක්වමින්, තවත් රටවල් ගණනාවක සහය තවමත් ලබන ජනාධිපති නිකලස් මදුරෝ ඇමෙරිකාව සමග සබඳතා බිඳ දැමීය.

ජනාධිපති මදුරෝ 2013 වසරේ සිට සිය ධුරයේ රැඳී සිටී. ඔහු සිය දෙවන ධුර කාලය සඳහා මේ මස මුලදී දිව්රුම් දුන් අතර ඔහු ජයග්‍රහණය කළ පසුගිය වසරේ මැයි මස පැවති මැතිවරණය විපක්ෂය විසින් වර්ජනය කරන ලද අතර ඡන්ද දූෂණ පුළුල්ව සිදුවූ බව කියැවිණි.

ජාතික සභාවේ ප්‍රධානියා වන ගුඅයිඩෝ පෙන්වා දෙන්නේ, ජනාධිපති මදුරෝගේ පත්වීම හා ඔහු ජනාධිපති ධුරය දැරීම වලංගු නොවන බැවින් රටේ ව්‍යවස්ථාවේ වගන්ති ප්‍රකාරව තමන්ට අන්තර්වාර පාලනයක් ගෙන යා හැකි බවය.

අන්තර්වාර ආණ්ඩුවකට නායකත්වය දෙමින් නිදහස් මැතිවරණ පැවැත්වීමට ඔහු ප්‍රතිඥා දී තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික විරසකය මතු වූයේ කෙසේ ද?

ගුඅයිඩෝ, බදාදා දිනයේ කරකාස් අගනුවරදී වෙනිසුවෙලාවේ නව රාජ්‍ය නායකයා බව ප්‍රකාශයට පත්කොට මිනිත්තු කිහිපයක් ඉක්ම යද්දී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ බව පිළිගත්තේය.

එය පිළිගන්නා ලෙස ඔහු අනෙකුත් රාජ්‍ය වෙතින් ද ඉල්ලා සිටියේය. නමුත් මේ පියවර ජාත්‍යන්තර ප්‍රජාව බෙදීමකට ලක් කළේය.

දකුණු ඇමෙරිකානු රටවල් හතක් මෙන් ම කැනඩා සහ එක්සත් රාජධානිය ද ඊට අනුගත වූහ.

මදුරෝ "වෙනිසුවෙලාහි නීත්‍යනුකුල නායකයා නොවේ" යැයි එක්සත් රාජධානිය එකඟ වී ඇති බව එරට විදේශ ලේකම් ජෙරමි හන්ට් බ්‍රහස්පතින්දා (ජන. 24) පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ, "වෙනිසුවෙලාව ඉදිරියට ගෙන යාමට සුදුසු පුද්ගලයා ජුවාන් ගුඅයිඩෝ ලෙස එක්සත් රාජධානිය විශ්වාස කරනවා" යනුවෙනි.

මේ තරමට ම පිළිගැනීමට ලක් නොකළ ද යුරෝපා සංගමය "නිදහස් හා පිළිගත හැකි මැතිවරණ" පවත්වන ලෙස ඉල්ලා සිටි අතර ගුඅයිඩෝගේ නිදහස හා සුරක්ෂිතතාවට ගරු කළ යුතු බව පැවසීය.

01

මෙක්සිකෝ, බොලිවියා සහ කියුබා යන රටවල්, මදුරෝ වෙත සිය සහය පළ කර ඇති අතර තුර්කි ජනාධිපති රිසෙප් තයියෙප් එර්දොවාන් ට්විටර් පණිවිඩයකින් කියා සිටියේ, "මදුරෝ, මගේ සහෝදරයාණෙනි, නැගී සිටින්න අප ඔබ සමගයි." යනුවෙනි.

කවර ආකාරයේ හෝ බාහිර මැදිහත් වීමකට තමන් විරුද්ධ බව වෙනිසුවෙලාහි ප්‍රධාන ආයෝජකයෙකු වන චීනය පවසා ඇත.

රුසියාව මේ තරම් උනන්දු ඇයි?

වෙනිසුවෙලාව, කලාපය තුළ තමන්ට සමීපතම මිතුරෙකු ලෙස රුසියාව විසින් සලකනු ලබයි. රුසියාව විසින් වෙනිසුවේලාව වෙත ඩොලර් බිලියන ගණනක ණය ආධාර සපයනු ලැබ ඇති අතර එහි තෙල් කර්මාන්තයට හා හමුදාවට සහය දී තිබේ. වෙනිසුවෙලාවේ පැවති හමුදා අභ්‍යාස සඳහා ද රුසියාව සහභාගි වී තිබේ.

"වෙනිසුවෙලාවේ ස්වෛරී අධිකාරිය අත්පත් කර ගැනීම සඳහා දරන මේ උත්සාහය අප දකින්නේ ජාත්‍යන්තර නීතියේ පදනම හා මූලිකාංග උල්ලංඝණය කිරීමක් ලෙසයි" යනුවෙන් ක්‍රෙම්ලින්හි ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් පැවසීය.

"නීත්‍යනුකූල රාජ්‍ය නායකයා මදුරෝ" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ගුඅයිඩෝගේ ප්‍රකාශය "අනීතික තත්ත්වයක් හා ලේ වැගිරීමකට "තුඩු දෙන්නක් බව සඳහන් කළ රුසියානු විදේශ අමාත්‍යංශ නිවේදනයක වැඩිදුරටත් දැක්වුණේ, "සිය අනාගතය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ වෙනිසුවෙලානු ජනතාව අතයි" ලෙසිනි.

"විනාශකාරී බාහිර මැදිහත් වීම, විශේෂයෙන් ම පවතින ඉතා නොසන්සුන් තත්ත්වය මැද පිළිගත නොහැකිය" එහි දැක්විණි.

ජනාධිපති මදුරෝගේ ප්‍රතිචාරය කුමක් ද?

දූරස්ථව සිට වෙනිසුවේලාව පාලනය කිරීමට ඇමෙරිකාව උත්සහ දරන බවට චෝදනා කළ ජනාධිපති මදුරෝ විපක්ෂය කුමන්ත්‍රණයකට අර අඳින බව කියා සිටී.

02

අප ඕනෑ තරම් මැදිහත් වීම්වලට මුහුණ පා තිබෙනවා. අපට ගෞරවයක් තිබෙනවා." යැයි බදාදා ජනාධිපති මැදුරේ සිට රුපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසීය.

විදේශ බලවේග විසින් මෙහෙයවනු ලබන "කුමන්ත්‍රණයක්" දියත් කිරීමට ගුඅයිඩෝ උත්සහ දරන බවට ආරක්ෂක අමාත්‍ය ව්ලදිමීර් පද්රිනෝ ලෝපෙස් පැවසීය.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිවරා ගනිමින් මාධ්‍ය හමුවක් ඇමතූ ඔහු පැවසුවේ, ගුඅයිඩෝ කළ ප්‍රකාශය "ප්‍රජාතන්ත්‍ර විරෝධී, අපගේ ව්‍යවස්ථාවට එරෙහි, නීත්‍යනුකුල ජනාධිපති නිකලස් මදුරෝට එරෙහි වීමකි" යනුවෙනි.

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට පැය 72ක් තුළ රටින් පිටවන ලෙස බදාදා ජනාධිපති මදුරෝ දැනුම් දුන්න ද, ඇමෙරිකාව පැවසුවේ "හිටපු ජනාධිපතිවරයාට" එවැනි නියෝගයක් දීමේ බලයක් නැති බවය.

ඇමෙරිකාව පැනවූ සම්බාධක හේතුවෙන් වෙනිසුවෙලාහි ප්‍රශ්න මතු වී ඇති බව විශ්වාස කරන්නේ යැයි ජනාධිපති මදුරෝගේ ප්‍රධාන ආධාරකරුවෝ පවසති. මේ නිසා ආණ්ඩුවේ ණය ප්‍රතිසංවිධාන කිරීම අපහසු වී ඇති බව ද කියති.

එරට ජාතික සභාව කර ඇති අධ්‍යයනයකට අනුව 2018 නොවැම්බර් දක්වා වූ මාස 12 තුළදී වාර්ෂික උද්ධමන අනුපාතය 1,300,000% කට ළඟා වී ඇත.