Language Switcher

V2025

ඉන්දීය සිනමාවේ පුරෝගාමියකු වූ දිලීප් කුමාර් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය සිනමාවේ පුරෝගාමියකු වූ ජනප්‍රිය නළු දිලීප් කුමාර් අභාවප්‍රාප්ත වී තිබේ.

හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකර සිටි ඔහු මියයන විට වයස අවුරුදු 98 කි.

අධි රුධිර පීඩනය සහ ස්වසන අපහසුතා නිසා දිලිප් කුමාර් රෝහල් ගත කර තිබුනේ මීට සතියකට පමණ පෙර ය.

1921 දී පකිස්ථානයේ ටෙෂාවෝර්හිදී උපත ලද ඔහු මොහොමඩ් යූසුප් ඛාන් වන අතර පසුව බොලිවුඩ් සිනමානවට එක්වීම සඳහා දිලීප් කුමාර් ලෙසින් නම වෙනස් කළේය.

1950 සහ 1960 ඛේදාන්ත චරිත රඟපෑ ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන 08ක් දිනා ගැනීමට සමත්විය.

ඉන්දියාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයෙකු ලෙස ද දිලිප් කුමාර් කටයුතු කළේය.

දශක 6ක් දිගු සිනමා දිවිය ඔහු ආරම්භ කරන්නේ 1944 දී 'ජවාර් භාතා' චිත්‍රපටයේ රංගනයත් සමඟ ය. එතැන් පටන් 1998 තෙක් සිනමාපට 65කට වැඩි ප්‍රමාණයක් සඳහා ඔහු රංගනයෙන් එක් වී තිබුණි.

'අන්දාස්' (1942), 'ආන්' (1952), 'දාග්' (1952), 'දේව්දාස්' (1955), 'අසාද්' (1955), 'නයා දර්' (1957), 'මධුමති (1958) 'මෝගල් ඊ අසාම්' (1960), කොහීනුර් (1960), 'ගංගා ජමුනා' (1961), ලීඩර් (1964), 'රාම් ඕ ශ්‍යාම්' (1967) යන සිනමාපටවල දිලිප් කුමාර්ගේ රංගනය ඒ අතරින් කැපී පෙනුනි.

පළමු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ දිලිප් කුමාර්ය. ඒ දාග් සිනමාපටයේ රංගනය වෙනුවෙනි.

ඉන්පසු දේව්දාස්, අසාද්, නයා දර්, කොහීනුර්, ලීඩර්, රාම් ඕ ශ්‍යාම්, ශක්ති යන සිනමාපටවල රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයා සම්මාන ඔහු දිනා ඇත.

චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ද කටයුතු කළ ඔහු 1991 වසරේ පද්ම භූෂන්, 2015 දී පද්ම විභූෂණ සම්මානවලින් ද පිදුම් ලැබුවේය.

දිලිප් කුමාර්ගේ වියෝව සැලැවීමත් සමඟ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, බොලිවුඩ් රංගන ශිල්පින්, ශිල්පිනියන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය පළ කර තිබේ.