V2025

විනෝදාස්වාද

”ප්‍රේමානිශංස” 2022 ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලබයි..

චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචිත 'ප්‍රේමානිශංස' කෘතිය, වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.

ඒ, ඊයේ (10) රාත්‍රියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදීය.

මෙරට සාහිත්‍ය කලාව සුපෝෂණය කිරීමට කැපවන විශිෂ්ටයින් ඇගයීම සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.

එරික් ඉලයප්ආරච්චිගේ නකුල මුනි, සේපාලී මායාදුන්නේගේ හින්දොස්මාලේ, ශමෙල් ජයකොඩිගේ මගේ චිකාගෝ හදවත සහ කීර්ති වැලිසරගේ ලියූ සන්ධ්‍යානන්දය යන කෘති මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට තේරීපත්වූ කෘතීන් වේ.

නෙත්මි අහිංසාගෙන් ලෝකඩ පදක්කමක්

නෙත්මි අහිංසා ප්‍රනාන්දු 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම අද (05) දිනා ගත්තාය.

මල්ලවපොර කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයේදී නෙත්මි සමගින් තරග වැදුණේ ඔස්ට්‍රේලියාවේ අයිරින් සිමියෝනිඩිස්.

එම තරගය ලකුණු 10 ට 0 ක් ලෙස ඉතා පහසුවෙන් නෙත්මි ජය ගත්තේ ලෝකඩ පදක්කම තමන් සතු කරගනිමිනි.

මෙය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව දිනාගත් පළමු සහ එකම පදක්කම වීමත් විශේෂත්වයකි.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් සිව්වන පදක්කම ද මෙයයි.

ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව 2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට අද (10) සුදුසුකම් ලබා ගත්තේ ය.

තරගාවලිය සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.

එහි අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව තරග වැදුණේ, හොංකොං කණ්ඩායම සමගයි.

එහි පළවෙනි කාර්තුවේ සිටම ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කාර්තු හතරම ජය ගත්තේ ය.

17 ට 7 ක්, 32 ට 16 ක්, 47 ට 25 ක් ලෙස පළමු දෙවන සහ තුන්වන කාර්තු ජය ගත් අතර නියමිත කාලය අවසානයේ ලකුණු තත්ත්වය දැක්වුණේ 67 ට 43 ක් ලෙසයි.

තරගාවලියේ අවසන් මහා තරගය හෙට(10) පැවැත්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 39 කින් අද(11) ජය ගත්තේ ය.

සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට අද සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 151 පමණි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ, පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 364 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව අද පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 554 කි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් විය.

චන්දිමාල් නොදැවී ලකුණු 206ක් ලබා ගත්තේය.

අනතුරුව දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 112 කදී බිඳ වැටුණි.

ඩේවිඩ් වෝනර් ලකුණු 24 කට දැවී ගිය අතර උස්මන් කවාජා ලකුණු 29 ක් ලබා ගත්තේය.

මානස් ලබු‍ෂේන් ලකුණු 32 කට දැවී ගියේ ය.

සුපරි පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 6ක් දවා ගත්තේය.

ඒ අනුව තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 1ක් ලෙස අවසන් විය.

Page 18 of 34