රත්නපුරේ ගම්මානවල ඇවිදින විට හමුවන ජන සාහිත්‍යයෙන් සමාජවිද්‍යාඥයන් තිගැස්සීමකට ලක් කළ හැකි ය. මේ රත්නපුරේ (නිවිතිගල) හංගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබෙන ජනකවියකි.
ඇස්නැති දොළකි අත පය නැති බොකු පතකී.
නොයිදුණ බතකි වරපට අදිනා ගමකී
කුඩමසු කැටිය පාටින් අදිනා ගමකී
සාස්තර පරුවතය ඉන්පසු බලන් සකී.
මේ කාව්‍ය ප්‍රහේලිකාවකි. ගැමියා එය පහදන්නේ මෙසේය.
ඇස් නැති දොළ -කණාදොළ ය.
අත පය නැති බොක පත- කොටාමුල්ල ය.
නොයිදුණ බත- අමුවල ය.
වරපට අදිනා ගම- හංගමුව ය.
කුඩමසුකැටිය -මගුරුගොඩ ය.
පාතින් අඳිනා කඩ- පාතකඩ ය.
සාස්තර පරුවතය- නිවිතිගල ය.
(මේ අදටත් තිබෙන නිවිතිගල ප්‍රදේශයේ ගම් ය.)
මුද්‍රණ ශිල්ප ධනවාදය බිහිවීමට පෙර බිහි වු මෙි කවිවලින් ගැමි ජනයා කර තිබෙන්නේ තමා ජීවත් වන ප්‍රදේශය මානසිකව සිතියම් ගත කිරීම (Mental mapping ) ය.
බෙනඩික්ට් ඇන්ඩර්සන්
නමුත් ජාතිය බිහිවීම මුද්‍රණ ශිල්ප ධනවාදයට පෙර සිදුවීමට ඉඩක් නැතැයි යනුවෙන් තර්ක කළ බෙනඩික්ට් ඇන්ඩර්සන් නම් ප්‍රකට සමාජ විද්‍යාඥයා ප්‍රකාශකළේ මුද්‍රිත සිතියම්කරණය ඔස්සේ ජාතියේ භූගෝලීය සීමාව පරිකල්පනය කරගැනීමට ජනයාට ඉඩ සලසන බවත් මුද්‍රණ ශිල්පය බහුලව ව්‍යාප්ත වන්නට පෙර එවැනි භූගෝලීය පරිකල්පනයකට මිනිසුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැති බවත් ය.
ඇන්ඩර්සන්ගේ ප්‍රවාදයේ බරපතළ අඩුව වන්නේ ජනයාගේ වාචික සම්ප්‍රදාය අවතක්සේරු කිරීම ය. ඇන්ඩර්සන්ට එරෙහිව ඉන්දියානු සමාජ විද්‍යාඥ පාර්තා චැටර්ජිගේ එක් වවේචනයක් වුයේ එය යි.
පාර්තා චැටර්ජිඇත්ත වශයෙන් ම පැරණි සිංහල සංදේශ කාව්‍ය මගින් ද සිදු කර තිබෙන්නේ ලංකාවේ භූමි ප්‍රදේශය සාහිත්‍යමය සිතියම්කරණයකි. මේ පුර්ව මුද්‍රණ සාහිත්‍ය සහ ජනශ්‍රැතිවල තිබු දේශපාලන භූගෝල විද්‍යාව, (political geography) ජාතිය හා ජාතිකවාදය පිළිබඳ නුතනවාදි ගුරුකුලයේ (modernist approach) සමාජ විද්‍යාඥයන්ට මග හැරුණි.
මුද්‍රණ සිතියම බිහි වීමට පෙර බිහි වු මෙවැනි මානසික හා සාහිත්‍ය සිතියම් රත්නපුර හංගමුවේ පමණක් නොව ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ලැබේ.
ලිපිය දිග වැඩිවෙන නිසා එවැනි තව එකක් පමණක් පහතින් සටහන් කරමි.
කුට්ටාපිටිය දෙනවක පැල්මඩුල්ලා
හුනුවල ඕපාත වතු උතුමන් අල්ලා
දොරවල බුලත්ගම පඹහින්න මුල්ලා
සකිසඳ ඉඹුල්පේ දෙනගම පීල්ලා.
(ඇන්ඩර්සන්ගේ ප්‍රවාදය- Anderson Benedict, 1991. Imagined Communities, Reflection on the Origins and Spread of Nationalism.
එයට, පාර්තා චැටර්ජිගේ විවේචනය.
Chattejee Partha 1991. 'Who's Imagined Community? Millennium Journal of International Studies, Vol 20(3).

Karu Paranawithana


