උඩරට රජ්ජුරුවන්ගේ නිරෝධායනය !

උඩරට රජ්ජුරුවන්ගේ නිරෝධායනය !

‘නිරෝධායනය’— අද අපේ රටේ එදිනෙදා භාවිත වන පාරිභාෂික වචන අතර සුලභ වචනයක් බවට පත්ව ඇත්තේ ය- කොරෝනා වෛරසයේ ආගමනයත් සමග වෛරසයෙන් ආසාදිත රටවල සිට මෙරටට පැමිණෙන අය නිරෝධායනය කිරීම ආරම්භ වෙයි- ඒ හා සමග ම ඇතිවන තවත් හුටපට හේතුවෙන් නිරෝධායනය වචනය තවත් ජනප්‍රිය වෙයි- හැඳල රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් කිරීමට එරෙහිව උද්ඝෝෂණය කරන භික්ෂුවක් ඇතුළු පිරිසක් මාධ්‍ය මගින් පෙන්වනු ලැබිණි- ඉතාලිය වැනි රටවල සිට මව්බිමට එන ඇතැම් අය නිරෝධායනයට හසු නොවී, නිවෙස්වලට ගොස් පවුලේ සාමාජිකයන් ද අවදානමට ලක් කළ බව වාර්තා විය- නිරෝධායනය පිළිබඳ අතුරු කතා බහුල ය- ඉතින් නිරෝධායනය යන වචනය ද ජනප්‍රිය ය- නිරෝධායනය යන්නෙන් වෙන් කොට තැබීම, හුදකලාවේ තැබීම වැනි අර්ථයක් හැඟවේ-

වචනය කෙසේ වෙතත් නිරෝධායන ක්‍රියාවලිය අපට ආගන්තුක වූවක් නොවේ- එය අතීතයේ පටන් විවිධ ආකාරයෙන් සිදුවූවකි- අතීත උඩරට රාජධානියේ උඩරට රජවරුන් විදේශීය දූතයන් පිළිගැනීමේ දී නිරෝධායන ක්‍රියාවලියක් අනුගමනය කළ බවට සාක්ෂි තිබේ-

ක්‍රි-ව- 1815 ට පෙර පැරණි උඩරට රාජධානිය පැවති අවධියේ දී පහතරට පෙදෙස් පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් සතුව පැවතිණි- ලන්දේසීහු උඩරට රජු සමග යහපත් රාජ්‍යතාන්ත්‍රික හා වෙළෛඳ සබඳතා පවත්වා ගැනීමට වාර්ෂිකව උඩරට කරා තානාපති චාරිකා සංවිධානය කළහ- එදවස ලන්දේසි දූතයන් වැඩි වශයෙන් උඩරට ගිය පැරණි රජමාවතේ ( The Great Road) කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා කොටස ලන්දේසීන් යටතේ පාලනය විය- සීතාවක සිට මහනුවර දක්වා කොටස උඩරට රජුටත් අයත්ව තිබිණි- එහෙත් මෙකියන සීමා වෙනස් වූ අවස්ථා ද තිබිණි- 1665 දී ‘හර්පොට්’ වාර්තාවට අනුව ඔහු රුවන්වැල්ලට පැමිණෙයි- ඒ රුවන්වැල්ලේ ලන්දේසි බලකොටුවක් ඉදිකරන්නට ය- ඒ වන විට සීතාවක ලන්දේසීන්ට යටත් ව තිබුණු අතර රුවන්වැල්ලේ ද ආධිපත්‍ය පතුරන්නට හැකියාව ඔවුනට තිබිණි- 1679 දී ‘වැන් ගෝන්ස්’ වාර්තා කරන්නේ ද රුවන්වැල්ලේ ලන්දේසි බලකොටුව තිබුණු බව ය- 1679 දී දූත චාරිකාවක් පිළිබඳ ව පොතක් ලියන ‘ක්‍රිස්ටෝපර් ෂ්වෙයිට්සර්’ ට අනුව සීතාවක ලන්දේසීන්ට ය- එහි බලකොටුව පිළිබඳව ද ඔහු විස්තර ලියයි- එහෙත් රුවන්වැල්ල කන්ද උඩරට රජුගේ නගරය විය- එදවස උඩරට රාජ්‍යයේ සීමාව සේ රුවන්වැල්ල සැලකිණි-

වසරක් පාසා උඩරටට පැමිණෙන ලන්දේසීන් නිරතුරුව ම මුහුදු ගමන්වල යෙදෙන පිරිසක් බැවින් ඔවුනට ‘වසූරිය’ වැලඳී තිබෙන්නට ඉඩකඩ ඇතැයි කන්ද උඩරට මහ රජ්ජුරුවන්ට සාධාරණ සැකයක් තිබිණි- එබැවින් ලන්දේසීන් එක්වර ම මහනුවරට වැද්ද නොගෙන එක් තැනක කාලයක් නවත්වා තබා මහනුවරට පැමිණෙන්නට ඉඩදීමේ ක්‍රමවේදයක් රජු සතුව තිබිණි-

උඩරටට එන ලන්දේසීන් ඔවුන්ගේ තරාතිරම් අනුව දෝලාවෙන්, ඇතුන් හා අශ්වයන් පිට හා පයින් මහනුවර දක්වා ගමන් කිරීමේ දී විවිධ තැන්වල නවාතැන් ගැනීමට සිදුවිය- රජු හා ප්‍රධාන නිලමක්කාරයන් රට තුළ සංචාරය කරන විට නවාතැන් ගන්නට තානායම් (බංගලා) තිබිණි- ලන්දේසි තානාපතිට තානායමේ නවාතැන් ලැබුණු අතර සෙසු පිරිස ඒ අවට කූඩාරම් තනාගත්හ-
සීතාවක, රුවන්වැල්ල, ඉද්දමල්පාන, කැබැල්ලගහරුප්ප, හෙට්ටිමුල්ල, අට්ටාපිටිය (දොඹගහරුප්ප), වල්ගොවුවාගොඩ හා ගන්නොරුව මහනුවර ගමන අතරතුර නවාතැන් සැපයුණු තානායම් විය- රජ්ජුරුවන්ගේ නිරෝධායනය ක්‍රියාත්මක වූයේ අට්ටාපිටියේ දී ය-

‘යොහාන් වුල්ෆ්ගැන්ග් හෙයිඞ්ට්’ (හෙයිඞ්ට් තානාපති ඩැනියෙල් ඇග්‍රීන් සමඟ 1736 දී නුවර දූත චාරිකාවක යෙදුණු අයෙකි- ඔහු ලංකාවේ අත්දැකීම් අරභයා පොතක් ලීවේ ය-) හෙයිඞ්ට් මෙසේ ලියයි-

“අපි අපේ ගමන් මගේ නොකඩවා පැමිණි ගමනේ දී නොවැ: 30 වනදා අට්ටාපිටියට පැමිණියෙමු- මෙතැන තානාපතිවරයාට කිසියම් කාලයක් නැවතී සිටින්නට සිදුවන තැනකි- අපේ පමාව දින 14 ක් විය-”

ඩැනියෙල් ඇග්‍රීන් සමඟ පැමිණි හෙයිඞ්ට පමණක් නොව අට්ටාපිටියට පැමිණි වෙනත් අයට ද එහි කාලයක් නැවතී සිටින්නට සිදුවිය- ඒ වසූරිය වෙනුවෙන් කෙරෙන නිරෝධායනයක් යයි දැනගෙන නොවේ- ඒ වෙනුවෙන් ප්‍රකාශිත වෙනත් හේතු පිළිගනිමිනි-

රජයේ නිලධාරීන් පැමිණෙන තුරු, රජුගේ ලිපිය හා ත්‍යාග පිරිවර සහිතව ගෙනයන තුරු යනා දී ප්‍රකාශිත හේතු මත මෙසේ එක් එක් දූත පිරිස් එකිනෙකාට වෙනස් කාල සීමා අට්ටාපිටියේ රැඳී සිටියහ- 1750 ට පෙර දූත පිරිස් සාමාන්‍යයෙන් රැඳී සිටි කාලය දින 16 ක් වත් විය- 1742 දී රිචඞ් වැන් මිනන්ට දින තුනකින් පිටත් වීමේ භාග්‍යය ලැබිණි- 1739 දී ගමනේ යෙදුණු ‘රොබර්ටස් ක්‍රේමර්’ ප්‍රමාද වූ කාලය සති පහකට වැඩි විය- (රජු හඟුරන්කෙත ගොස් සිටි බැවින් නැවත සෙංකඩගලට පැමිණෙන තුරු ඔවුහු අට්ටාපිටියට වී සිටියහ-) සිංහල රජුට ප්‍රතිකාර කරන්නට හඟුරන්කෙත බලා ගිය ලන්දේසි දොස්තර ඩැනියෙල්ස්ට නම් කිසිදු ප්‍රමාදයකින් තොරව අට්ටාපිටියෙන් යන්නට ලැබිණි-

රජු දූතයන් අතරමග නවත්වන්නේ නිරෝධායනය සඳහා යයි පැහැදිලිව ලියන්නේ 1739 උඩරට යන ‘යොහාන් ක්‍රිස්ටෝ ක්ලිබර්ට් ය ඔහු මෙසේ සටහන් කරයි-

“සිරිත් පරිදි උඩරට යන දූත පිරිසට අට්ටාපිටියේ දින කීපයක් රැඳෙන්නැයි දන්වන ලදී- මැනවින් වාතාශ්‍රය ඇති, සනීපදායක කැබැල්ලගහරුප්පේ රැඳීම මැනවැයි උඩරට රජු ද කල්පනා කර තිබිණි- අසලින් ගලන ගඟට ස්තුති වේවා! (කැබැල්ලගහරුප්ප අසලින් ගලන්නේ ගුරුගොඩ ඔයයි-) පසුව දැනගත් ආකාරයට ප්‍රමාදයට සැබෑ හේතුව මගේ පිරිවරට වසූරිය වැලඳී ඇතැයි සැක කිරීම හේතුවෙන් රෝගය බෝවිය හැකි කාලය එසේ වෙන්කොට තැබූ බවයි-”

කැබැල්ලගහරුප්ප යනු වර්තමාන පිටගල්දෙණියේ තිබුණු වෙනත් තානායමකි- අට්ටාපිටිය තානායම කලක් (1680 හා 1759 අතර) දොඹගහරුප්ප තානායම නමින් හඳුන්වා ඇත- අද එදවස තිබුණු කිසිදු තානායමක නටබුන් දක්නට නොවේ- වරිච්චියෙන් තැනුණු ඒ තාවකාලික ඉදිකිරීම් කාලයත් සමඟ විනාශ වන්නට ඇත- අට්ටාපිටිය තානායම මහඔයට මෙගොඩින් වර්තමාන වහරක්ගොඩ තිබුණු බවට සාක්ෂි ලැබේ- කෑගල්ලේ මිනින්දෝරු අධිකාරි ලයනල් ප්‍රනාන්දු මහතා සඳහන් කළ ආකාරයට වහරක්ගොඩ සොහොන් බිම හැඳින්වෙන්නේ ‘තානායම්ගොඩ’ නමිනි- අදටත් මළසිරුරු මිහිදන් කරන්නට වළ කපන විට පැරණි උළු කැබලි ආදිය හමුවේ- පැරැන්නන් කියන්නේ රජුගේ නවාතැන් මාලිගයක් මෙහි තිබුණු බවයි- සුදු ජාතිකයන්ගේ සටහන් අනුව ද අට්ටාපිටියේ බංගලාව මෙතැන පැවති බව උපකල්පනය කළ හැක-

කොහොමත් නිරෝධායනය කලබල වන්නට කාරණයක් නොවේ- අතීත උඩරට රජවරුන් පවා උඩරටට පැමිණෙන විදේශිකයන්ට වසූරිය වැනි රෝග ඇතැයි සැකකොට රෝගයෙන් සිය රාජධානිය ආරක්ෂා කරන්නට භාවිතා කළ උපක්‍රමයකි-

(මහානාම දුනුමාල - රාවය ) 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න