Language Switcher

V2025

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ස්ත්‍රී දූෂණ චෝදනා

පෘතුගාලයේ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2009 වසරේදී තමන් දූෂණයට ලක්කළ බවට අමෙරිකානු කාන්තාවක නගා ඇති චෝදනා "අසත්‍ය පුවතක්" බව පවසමින් රොනාල්ඩෝ එය ප්‍රතික්ෂේප කර තිබේ.

"තමන්ගේ නම භාවිත කරමින් (ඔවුන්) ප්‍රසිද්ධියක් ලැබීමට උත්සහ කරන" බව ඉන්ස්ටග්‍රෑම් වෙත මුදා හළ වීඩීයෝවක් මගින් ඔහු පවසා ඇත.
එය සාමාන්‍ය දෙයක් බව ද ඔහු එහි සඳහන් කර තිබේ.

රොනාල්ඩෝගේ නීතිඥයින් පවසන්නේ, අදාළ සිද්ධිය පිළිබඳව මුලින් ම වාර්තා කළ ජර්මනියේ Der Spiegel සඟරාවට එරෙහි නඩු පවරන බවය.

33 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ලාස් වේගාස්හි හෝටල් කාමරයකදී 34 හැවිරිදි කැත්රින් මයෝගා (Kathryn Mayorga) නමැති කාන්තාව දූෂණය කරනු ලැබ ඇති බව එම සඟරාවෙහි දැක්වේ.

ඒ පිළිබඳ ලාස් වේගාස් පොලිසියට තමන් දූෂණය කිරීමට පිළිබඳ කැත්රින් පැමිණිළි කර තිබූ බව වාර්තා වේ.

මේ අතර, මේ සිදුවීම පිළිබඳ ප්‍රසිද්ධියේ චෝදනා නොකරන බවට රොනාල්ඩෝ සහ ඇය අතර අමෙරිකානු ඩොලර් 375000ක රහස්‍යමය ගනුදෙනුවක් 2010 වසරේදී සිදුව ඇති බවට ද වාර්තා පළවී තිබේ.

එම රහස්‍ය එකඟතාව නීත්‍යනුකූල නොවන බවට තහවුරු කිරීමට කැත්රින්ගේ නීතිඥයෝ ක්‍රියා කරමින් සිටිති.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් රොනාල්ඩෝගේ නීතිඥ ක්‍රිස්ටියන් ෂර්ට්ස් (Christian Schertz) සඳහන් කර ඇත්තේ, "Der Spiegel සඟරාවේ පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් ම නීතිවිරෝධී එකක්" බව ය.

"බොහෝ විට මෑත වසර කීපය තුළ සිදුවූ දරුණුම පුද්ගල අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම" මගින් "අයුක්ති සහගත හානියක්" කිරීම සම්බන්ධයෙන් අදාළ සඟරාවෙන් වන්දියක් අය කර ගැනීමට තමන්ට උපදෙස් ලැබී ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කරයි.‍‍

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙතෙක් කලක් පෘතුගාලයේ බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.
බීබීසී