Language Switcher

V2025

Ms. British Empire 2018 : කිරුළ ලංකාවට 

වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන විසින් 2018 වසරේ  Ms. British Empire කිරුළ ජයග්‍රහණය කිරීම  සැමරීම සඳහා උත්සවයක් සංවිධානය කරයි. 

මෙම උත්සවය බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටලයේදී පසුගියදා පැවැත්විණ.   

2018 වසරේ සැප්තැම්බර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැති   Ms. British Empire තරඟය පැවැත්විණ. 

ඒ වෙනුවෙන් පැවති මෙම ප්‍රිය සාදය විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු අතර වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන වෙත සිය සුභ පැතුම් පිරිනැමීම සඳහා ඇයගේ සමීප හිතවතුන් මෙන්ම පවුලේ සාමාජිකයින් විසින් මෙම අවස්ථාව සංවිධානය කොට තිබුණි. 

මෙහිදී ඇය සිය ජයග්‍රහණය වෙනුවෙන් උදව් උපකාර කළ, ඇප කැප වූ සියලු දෙනාට සිය ස්තුතිය පිරිනැමුවාය.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන කියා සිටියේ Ms British Empire 2018 කිරුළ  හිමිකරගැනීම තමන්ට මහත් ගෞරවයක්  බවයි. 

ජාත්‍යන්තරය හමුවේ සිය මව් රට වෙනුවෙන් මෙම ජයග්‍රහණය අත්පත් කර ගැනීමට හැකිවීම මහත් භාග්‍යයක් බවද ඇය කියා සිටියාය. මෙම කිරුළ හිමිකරගැනීමේ අත්දැකීම් සහ පළපුරුද්ද අනුව යමින් ශ්‍රී ලාංකික ජන සමාජය ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබීමට තමන් කැප වන බවද ඇය මෙහිදී පෙන්වා. 
දුන්නාය. එමෙන්ම මෙම ජයග්‍රහණය සඳහා තමන්ට හිමිවූ ත්‍යාග මුදල මුළුමනින්ම මෙරට පිළිකා රෝගීන්ගේ පහසුකම් දියුණු කිරීම සඳහා යොදවන බව ඇය අවධාරණය කළාය. ඊට අමතරව ශ්‍රී ලාංකික ජන සමාජය වෙනුවෙන් තවත් ව්‍යාපෘති ගණනාවකටම සම්බන්ධ වීමට තමන් අපේක්ෂා කරන බව වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළාය.

නිරූපණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සමඟ ඇය මුල්ම වරට  StarNow ආයතනය හරහා  Ms British Empire 2018 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබුවාය. එහි මුල් අදියර වශයෙන් පැවැත්වෙන ඡායාරූප යොමු කිරීමේ අවස්ථාවේදී  එහි  නිල ජාත්‍යන්තර ජුරි සභාව විසින් වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන එම තරඟය සඳහා සහභාගි වීමට සුදුසු බවට නිර්දේශ කිරීමෙන් අනතුරුව  අවසන් තරඟය සදහා තෝරාගැනීමට  සජීවී දැක්මක් ( live show ) පැවැති අතර එයින්ද  ජය ගනිමින් අවසාන මහා තරඟය සඳහා වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන සුදුසුකම් ලැබුවා ය.  මෙම තරඟාවලිය සඳහා ඇය පුහුණු කරනු ලැබූවේ ප්‍රමුඛ පුහුණූකරුවෙකු  සහ නිර්මාණකරුවෙකු වන බ්‍රයන් කර්කොවන් විසිනි.  මෙම තරඟාවලිය සඳහා වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධනගේ ඇඳුම නිර්මාණය කරනු ලැබුවේ  ප්‍රමුඛ ඇඳුම් නිර්මාණ ශිල්පිණයක වන රැෆීලියා ප්‍රනාන්දු විසිනි. 

වෛද්‍ය නුවන්දිකා ලක්මාලි සිරිවර්ධන  ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරිණියක් වන අතර ඇය නවගමුව ප්‍රාදේශිය රෝහලේ සේවය කරයි. වෛද්‍ය නුවන්දිකා වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රය වෙත පිවිසීම සඳහා  වන උපාධිය හදාරමින් එහි සිව්වන වසර සම්පූර්ණ කර සිටියි.

වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කිරීමට අමතරව වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන 2017 වසරේ සිට වෝටර්ස් එජ් හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස ද කටයුතු කරයි. මීට අමතරව ඇය  Healthy life style හි බස්නාහිර පළාත් සන්නාම තානාපතිනිය වන අතර ප්‍රමුඛ විලාසිතා සහ රූපලාවන්‍ය උපකරණ සන්නාමයක් වන Elegant Cleopatra හි සන්නාම තානාපතිනිය ලෙස ද කටයුතු කරයි. මීට අමතරව ඇය ගීත රචිකාවක් මෙන්ම ගායිකාවක් ලෙසද සිය කුසලතා එළි දක්වා ඇති අතර මේ වනවිට  වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර සඳහා  ආධාර කිරීම වෙනුවෙන් වන පිළිකා පදනම හා එක්ව කටයුතු කරයි.