Language Switcher

V2025

ආර්චි - දිගටම සටන් කරාවි !

පසුගිය වසරේ නත්තල් සමයේදී හත් හැවිරිදි ආර්චි ස්කිලර් රෝහල් සයනයක් මත වැතිර සිටියේ හෘද සැත්කමකට මුහුණ දීමෙන් අනතුරුවය.

තෙවන වරට සිදු කරන ලද හෘද සැත්කමෙන් පසු සුවය ලබමින් සිටි ඔහු හුස්ම ගනු ලැබුවේ බටයක් ආධාරයෙනි.

උපතින් ලද සිය හදවත් රෝගී තත්ත්වය මදකට අමතක කිරීමට කුඩා ආර්චිට මේ වසරේදී හැකි විය.

ආර්චි ක්‍රිකට් ලෝලියෙකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් භාෂාවෙන් කියන්නේ නම් ඔහු "ක්‍රිකට් පිස්සෙකි". ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල සමාජ ජාල ඔස්සේ ඔහු ජනප්‍රියත්වයට පත් වන්නේ එකී ක්‍රිකට් උන්මාදය නිසාවෙනි.

බදාදා (දෙසැ 26) ඔහු මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයට පිවිසියේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සම නායකයා ලෙසය. ඒ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවය.

නත්තලට පසු දින තම උපන් බිමේ පැවැත්වෙන වසරේ ලොකුම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට කුඩා ආර්චිට හැකි විය.

තරගය ආරම්භ කිරීමට ප්‍රථම කාසියේ වාසිය උරඟා බලන අවස්ථාවේදී ආර්චි, සිය ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයා වන විරාත් කෝලිට අතට අත දෙන ආකාරය දෙස දහස් සංඛ්‍යාත නරඹන්නෝ බලා සිටියහ.

ක්‍රිකට් කණ්ඩායම සමග කටයුතු කිරීමට ලැබීම පිළිබඳ සිය පුතු ඉමහත් ප්‍රීතියට පත්ව සිටි බව කී ආර්චිගේ මව සාරා ස්කිලර් "ඔහු මෙතරම් සිනාසෙනවා මම කිසි දිනක දැක නැහැ," යනුවෙන් සඳහන් කළාය.

කුඩා ක්‍රිකට් ලෝලියෙකු වශයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට "නායකත්වය ලබා දීමේ" සිහිනය සැබෑ කිරීමට කටයුතු කළේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සහ 'Make-A-Wish' නමැති පුණ්‍යාතනය විසිනි.

තරගයට පෙර ශාරීරික අභ්‍යාසවලට එක් වූ ආර්චි ක්‍රීඩකයන් සමග මිතුදම් ඇති කර ගත්තේය.

"සක්‍රියව කණ්ඩායම සමග කටයුතු කිරීමට හැකි වූ බව හැඟුනා කියා ඔහු කිව්වා. ඔහු මේ ක්‍රීඩාවට ගොඩක් ආදරෙයි. ඔහු නිදා ගන්නෙත් කොල පාට ක්‍රිකට් තොප්පිය දාගෙන. අපි ඉඩ දුන්නොත් ක්‍රිකට් කණ්ඩායමේ නිල කබාය දාගෙනත් ඔහු නිදා ගනියි," සාරා ස්කිලර් කියා සිටියාය.

"හරිම ලස්සනට ඔහු දවස පාලනය කර ගත්තා. ක්‍රීඩාංගනයට පැමිණි විට සුදු ඇඳුම ඇදගත් ඔහු 'සී යු අම්මේ තාත්තේ. මම දැන් මගේ යාළුවො එක්ක ඉන්නේ' කියලා කිව්වා,"

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සියලුම සාමාජිකයන් ඔහු සමග සක්‍රියව කටයුතු කළ බව කී සාරා ස්කිලර්, "එහි ගොස් තමන් ආදර්ශයට ගන්න පුද්ගලයන් සමග කාලය ගත කිරීමට ලැබීම ඔහුට ලොකු දෙයක්." යනුවෙන් පැවසුවාය.

ආර්චිට හදවත් රෝගයක් ඇති බව උපතේදීම හඳුනා ගෙන ඇති අතර වයස මාස තුනේදී හදවත් සැත්කමකට භාජනය කර තිබේ.

ඔහු මේ දකවා මුහුණ දී ඇති හදවත් සැත්කම් සංඛ්‍යාව 13 කි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්චිට මාස ගණනක් පාසල් යාමට නොහැකි වී ඇති අතර සිය පාසල් මිතුරන් සමග කාලය ගත කිරීම ද අපහසු වී තිබේ.

"ඔහු හැකි උපරිමයෙන් උත්සාහ කරාවි. නමුත් අනෙක් දරුවන් වගේ දුව පනින්න ඔහුට බැහැ. නමුත් ඔහුට යම් දේවල්වල කොටස්කරුවෙක් වීමට අවශ්‍යයි," ආර්චිගේ මව සඳහන් කළාය.

සිය නිවහන පිහිටි ඇඩලෙයිඩ් සිට මෙල්බන් නුවර වෙත ආර්චි මින් පෙර ගොස් තිබුනේ සැත්කම් සඳහා පමණක් බව කී ඇය "මේ පාර ඉස්පිරිතාලෙට යන්න ඕනි නැහැ කියන එක ඔහුට ටිකක් විශ්වාස කරන්නත් බැරි වුනා," යනුවෙන් පැවසීය.

"මේ අවුරුද්දේ පවුලේ සියලු දෙනා එක්ක ඉන්න, ඉස්පිරිතාලේ ඉඳන් ගෙදර එන්න බැරි වෙයි කියලා අපිට ගිය පාර නත්තලේදී හිතුනා. මේක ගොඩක් හොඳයි,"

(බීබීසී)