ඉන්ෆුවන්සා වෛරස් උන රට පුරා පැවතිය දී මැතිවරණ පැවැත්වූ ශ්‍රී ලංකාවට කොරෝනා වසංගතය හමුවේ වුවද මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් ඇතැයි පැවසු මහාචාර්ය තිස්ස විතාරණ ලංකා සම සමාජපක්ෂ නායකයාට කනේ ඇඟිලි ගසා ගැනීමට තරමේ සැර උත්තරයක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ලැබී ඇත.
ඒ, මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂවල නියෝජිතයින් සමග ඊයේ (02) පැවති සාකච්ජාවේ දීය.
එහිදී තමා වසංගත රෝග විශේෂඥයෙක් බව පවසමින් කතාව ආරම්භකර ඇති ලංකා සම සමාජ පක්ෂ නායකයා, තමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වයිරස් රෝග සම්බන්ධ උපදේශක කමිටුවේ වසර 25කට වැඩි කාලයක් සේවය කර ඇති බවත්, බොරැල්ල වෛද්‍ය පරියේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයතු කර ඇති බවත් සඳහන් කරමින්,
නව කොරෝනා වෛරසය ගැනත්, එය පැතිර යන ආකාරය සහ රෝගයේ ස්වභාවය ආදිය ගැනත් කෙටියෙන් පැහැදිලි කර ඇත.
කෙසේවුවද කොරෝනා වසංගත තත්ත්වයක් පැවතුනද මහ මැතිවරණයක් පැවැත්වීමට එය බාධාවක් නැතැයි ඔහු පවසනවත් සමග ම වහා එයට ප්‍රතිචාර දක්වා ඇති මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, '' මහාචාර්යතුමා ඔබතුමා මොන ලෝකෙද ඉන්නේ, ඉන්ෆුවන්සා උන තිබුනා කියලා අපේ රටේ මිනිස්සු මීටරේ දුරින් හිටියද ? මුඛවාඩම් දාගෙන හිටියද ? ඔබතුමා ම කියන විදියට වසංගත විශේෂඥයෙක් නේද ? මොනවද මේ කතා කරන්නේ. ඕවා මෙතන කිව්වට කමක් නැහැ. එලියට ගිහින්නම් කියන්න එපා'' යයි කියද්දී එම රැස්වීමට සහභාගිව සිටි ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් හැර සියයට 90කට වැඩි අනෙකුත් පක්ෂ නියෝජිතයින් අත්පොලසන් දෙමින් ප්‍රතිචාර දක්වා ඇත.
'පොහොට්ටු' පක්ෂය විසින් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති එම පක්ෂයේ ජාතික ලැයිස්තු නම් අතරට මහාචාර්ය තිස්ස විතාරණ ගේ නමද ඇතුලත්වේ. හිටපු ආණ්ඩුකාරවරයකු වන ඔහු ඔහු ඊයේ මැතිවරණ කොමිසමේ සාකච්ජාවට පැමිණ සිටියේ ප්‍රභූ ආරක්ෂක ඒකකයේ ආරක්ෂාව ද සහිතවය.

