දවසකට 12500 යි - සල්ලි ගෙවන නිරෝධායන මධ්‍යස්ථාන ගැන : මව්පියන්ගෙන් මැසිවිලි !

 දවසකට 12500 යි - සල්ලි ගෙවන නිරෝධායන මධ්‍යස්ථාන ගැන : මව්පියන්ගෙන් මැසිවිලි !
විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා එක්සත් රාජධානි ඇතුළු විදෙස් රටවල් වෙත  ගොස් සිට යළි  මෙරටට පැමිණ ඇති  සිසු සිසුවියන් මුදල් ගෙවන නිරෝධායන මධ්‍යස්ථාන වල  විඳින දුෂ්කරතා සම්බන්ධව මව්පියන් මැසිවිලි නගයි.
 
ඊට  තානාපති කාර්‍යාල සම්බන්ධීකරණ දුර්වලතා මෙන්ම මෙරට මුදල් ගෙවන නිරෝධායන  මධ්‍යස්ථානවල  පවතින දැඩි දුර්වලතා ද  හේතු වී තිබේ.
 
ඒ බව පැහැදිලි කරමින්  පසුගියදා යුරෝපයේ සිට පැමිණි දරුවකුගේ පියෙකු අප වෙත අදහස් දැක්වූ අතර එහිදී ඔහු පවසා සිටියේ,
 
තානාපති කාර්‍යාලත් වගකියන්න ඕන !
 
" මේ අඩුපාඩුව තානාපති කාර්යාලවල ඉඳලම තිබුණා. මුදල් ගෙවා නිරෝධායන මධ්‍යස්ථාන වලට අපි ළමයින්ව යොමු කරන්නේ තවත් දුක් විඳින්න නෙවෙයි. ළමයි ගෙන්නන්න කලින් තානාපති කාර්යාලවලින් කියලා තිබුණේ අහවල් අහවල් හෝටල් වල නිරෝධායන සඳහා අවස්ථාව තියෙනවා කැමති එක කියන්න කියලා. එය හැර මුදල් ගෙවා කලින් වෙන්කරන්න හෝ එවැනි  කිසි දෙයක් කියලා තිබුණෙ නෑ.
 
ඉල්ලපු හෝටලය නෙවෙයි ලැබුණේ !
 
ඒ නිසා මෙහෙ ආවහම මුලින්ම දුෂ්කරතාවලට මුහුණ දුන්නේ  ඉල්ලුම් කරපු හෝටලය අහිමි වෙලා. සමහර දරුවන්ට ඉල්ලුම් කරලා යන්න ගිය බස් එකෙන් බස්සවලා වෙනත් හෝටලයකට යවලා. තැන්  කිහිපයකටම කතා කරල තමයි දරුවාට අවශ්‍ය පහසුකම් ටික හදලා දෙන්න පුළුවන් වුනේ.
 
විධිමත් ක්‍රමයක් හදලා තිබුනා නම් එහෙන්  එනකොටම අපිට හෝටල් වෙන්කරගෙන ඉතා පහසුවෙන් ලමයින්ව ඒ වෙන්කර ගත්ත ස්ථානවලට යොමු කරන්න තිබුණා. එහෙම නොවුණු නිසා වුණේ පාන්දර හතරට ආව ළමයි පැය ගණනක් ගුවන්තොටුපලේ රස්තියාදු වුන එක. 
 
පෙන්වන දේ නෙවෙයි අත්විඳීමට තියෙන්නේ !
 
මේ ළමයි ගෙන්වපු පළමු අවස්ථාව නෙවෙයි.. දැන් අවස්ථා කිහිපයක් ම ළමයින් ගෙනාවා. එහෙනම් පලවෙනි වර තිබුන වැරදි අඩු පාඩු  දෙවැනිවර අඩු වෙන්න ඕන. නමුත් එහෙම කිසි දෙයක් වෙලා නෑ. පෙන්වන දේ නෙමෙයි අත්විඳින්න තියෙන්නේ. 
 
මේ අතර තවත් මවක සිය දරුවා මුහුණ දී ඇති අත්දැකීම මෙසේ පැවසුවා ය.
 
7500යි කියලා දැන් 12500යි කියනවා !
 
Waskaduwa Citrus හෝටලය තමයි දරුවාට නිරෝධායනයට යන්න ලැබුණේ. මුලින්ම කිව්වෙ දවසකට රුපියල් 7500.00 යි කියලා. නමුත් පසුව 12500.00 ක් කිව්වා.
 
 දවසකට එක් ළමයකුට රුපියල් 12500ක් ගත්තට සැලකිල්ල ගැන කොහෙත්ම තෘප්තිමත් වෙන්න බෑ. සමහර කාමරවල නාන කාමරේ කරාම  පවා කැඩිලා, වතුර එන්නෙ නෑ. පිඟානේ සිට ඇඳුම් දක්වා සේරම ළමයි හෝද ගන්න ඕන. ඉන්න තැන් පිරිසිදු කරගන්න ඕනත් ළමයි.
 
බිස්නස් එක කර ගත්තට කමක් නෑ.. සර්විස් එකත් දෙන්න !
 
ප්‍රශ්නේ තියෙන්නේ අය කරන ගානට හරියන සේවාව නොලැබීම. ඔබ දන්නවද මේ ළඟඳී ළමයින්ට කන්න දීලා තියෙන්නේ චිකන් විංග්ස්, පරිප්පු , බත් විතරයි. දෙන ආහාර වේල මොකක්ද ? මොනවද තියෙන්නේ කියන එකට වඩා ප්‍රශ්නය තියෙන්නේ 12500ක් එක දවසකට අරගෙන ඇයි දරුවන්ට මෙහෙම කරන්නේ කියන එක.
 
අපි හොයලා බැලුවා මේ  Waskaduwa Citrus හෝටල්  නිරෝධායන මධ්‍යස්ථානයේ කළමනාකරණය කවුද කියලා. හමුදාවෙන් ඇහුවම කියනවා හෝටලයෙන් තමයි කළමනාකරණය කරන්නේ කියලා. හෝටලයෙන්   කියනවා හමුදාවෙන් කරන්නේ කියලා. කවුරු කරත් මේ කරන වැඩේ අන්තිමයි.
 
තේ බොන්න  ටී බෑග් ටිකක් තියලා විතරයි. සමහර කාමර දූවිලි වැදිලා මකුළුදැල් පිරිලා. ඇත්තටම කොරෝනා අස්සේ බිස්නස් එකක් කරාට අපි මොකුත් කියන්නේ නෑ . ඒත් ටිකක් හරි හොඳ සර්විස් එකක් දෙන්න. සල්ලි ගන්න හදපු නිරෝධායන මධ්‍යස්ථාන එහෙමත් නැත්නම් ලාභ උපයන නිරෝධායන මධ්‍යස්ථාන වුනාට කමක් නෑ සල්ලි අරගෙන දරුවන්ට සලකන්න.
 
මේ ආකාරයට තවත් විස්තර රැසක් නිරෝධායන  මධ්‍යස්ථාන සඳහා යොමුකළ දරුවන් ගේ මව්පියන් අප වෙත සඳහන් කළ අතර ඒ ඇතැම් විස්තර අප මෙහි පළ කරන්නේ නැත. නමුත් මේ මවුපියන් ගේ හඬට කන්දීම ආණ්ඩුවට වැදගත් වනු ඇත. හමුදාවේ කීර්ති නාමයටත් තීරණාත්මකය. හෝටලය දුන්න ව්‍යාපාරිකයාගේ කීර්ති නාමයටත් තීරණාත්මකය. ඒ අප නොලීවාට අහන්න වෙන කතා ඒ තරම් අප්‍රසන්න විය හැකි නිසාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න