Language Switcher

V2025

රාජ්‍ය සේවක වැටුපට විදින්න හදන අස්සේ : රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සැප වැඩි කරයි !

රාජ්‍ය අමාත්‍යරුන්ටද නිළ වාහන, නිළ නිවාස, ඉන්ධන දීමනා ඇතුළු රාජ්‍ය දේපළ මහ මැතිවරණය තෙක් භුක්ති විදීමටත් අවසර ලබා දෙන කැබිනට් පත්‍රිකාව පසුගිය කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත.

මෙම කැබිනට් සංදේශය අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇත.

 එහි කථානායකවරයාට, කැබිනට් අමාත්‍යවරුන්ට, විපක්ෂ නායකවරයාට, රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ඒ හා සමාන තනතුරක් දරණ තැනැත්තන් විසින් තමන් දැනට දරණු ලබන තනතුරට හිමි වරප්‍රසාදයක් ලෙස හෝ කලින් දැරූ තනතුර අනුව හිමි වන වරප්‍රසාදයක් ලෙස හෝ රජය විසින් තමන් වෙත ලබා දී ඇති නිළ නිවාස, 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී සිය දේශපාලන පක්ෂය හෝ තමාගේ පෞද්ගලික අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම වැනි පෞද්ගලික පරිහරණය සදහා අදාළ නිළ වාහන සහ නිළ නිවාස කොන්දේසි 05ක් යටතේ භාවිත කිරීමට සුදුසු බව යෝජනා කර ඇත.

මෙම කොන්දේසි අතර එක් වාහනයක් වෙනුවෙන් මාසයකට රුපියල් ලක්ෂයක මුදලක් ආණ්ඩුවට ගෙවිය යුතු අතර දැනට ලබාදෙන ඉන්ධන ප්‍රමාණයට අමතරව ඉන්ධන භාවිත කරන්නේනම් එසේ වැයවන අමතර මුදල තමා පෞද්ගලිකව දැරිය යුතුය. 

එසේම මෙම කාලය තුළ පක්ෂය හෝ තමාගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය සදහා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා යොදා ගන්නේනම් ඒ සදහා වන සියලුම වියදම් පෞද්ගලිකව දැරිය යුතු වන අතර අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, අමාත්‍යවරයෙකු හෝ විපක්ෂ නායකවරයා විසින් අපේක්ෂක ප්‍රවර්ධනය සදහා නිල නිවාස භාවිත කරන්නේනම් ඒ සදහා රුපියල් ලක්ෂයක මාසික ගාස්තුවක් ගෙවිය යුතුය.

මෙම නිළ නිවාස සහ නිළ වාහන සම්බන්ධයෙන් වන ගාස්තු එම දේපළ ලබා දී ඇති රාජ්‍ය නිළධාරියා වෙත නියමිත පරිදි ගෙවීමට කටයුතු කළ යුතු අතර ගුවන් යානා හෝ හෙලිකොප්ටර් සම්බන්ධයෙන් වන ගාස්තු අදාළ බලධාරියාට ගෙවිය යුතු බවත් එම කොන්දේසි අතර වේ.

මෙම යෝජනාව සාධාරණීකරණය කිරීම යන කොටස යටතේ සදහන් වන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන තෙක් අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් අමාත්‍යවරුන් විසින් ස්වකීය නිළ කටයුතු සිදු කරනු ලබන අතර කථානායකවරයා සහ විපක්ෂනායකවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වය දරණ බැවින් මැතිවරණය තෙක් එහි කටයුතුවලට සහභාගි වීමට සිදු වන අතර එම පුද්ගලයින් මේ කාලය තුළ තම පක්ෂය සහ තමාගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවලට නිරත වන බැවින් නිළ නිවාස සහ වාහන වෙනුවෙන් රජයට දීමනාවක් ගෙවීම සුදුසු බවයි.

කොවිඩ් – 19 වසංගතය හමුවේ රටේ ජනතාව ව්‍යයසනයකට මුහුණ දී සිටින අවස්ථාවක ජනතාවට සහන නොදී රාජ්‍ය ඇමැතිවරුන්ටද එම වරප්‍රසාද ලබා දීම සම්බන්ධව  ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කොප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති  පැවසුවේ රජය විසින් රජයේ සේවකයන්ගේ වැටුප රජයට පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටින අතර මෙවැනි වරප්‍රසාද රාජ්‍ය අමාත්‍යවරුන්ටද ලබා දීම අතිශයින් සදාචාර විරෝධී බවයි.

රජය විසින් ගෙන යනු ලබන මෙම සාදාචාර විරෝධී ක්‍රියාවලට එරෙහිව ඉදිරියේදී ජනතා ව පෙළගස්වන බවත් ඔහු කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරුන්ටද කැබිනට් ඇමැතිවරුන‌්ගේ වරප්‍රසාද ලබා දීම මැතිවරණ නීති උල්ල්ංඝණය කිරීමක් වන අතර නීති විරෝධී තීරණ ගැනීමට කැබිනට් මණ්ඩලයට හැකියාවක් නොමැති බවයි.