Language Switcher

V2025

හම්බන්තොට මහින්ද නම් දියගම ගෝඨාද?

රාජපක්ෂලා බලය ලබා ගත් පසු රටේ හැම ක්ෂේත්‍රයටම අත පෙවීම පුරුද්දකි. එහි අයියා බලයේ සිටියාද, මල්ලී බලයේ සිටියාද කියා වෙනසක් නැත. මහින්ද රාජපක්ෂ කාලයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකළේ හුදු තම ප්‍රදේශයට ක්‍රීඩාංගණයක් ගැනීමට විනා අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා නොවේ.

අනෙක් අතට පිට්ටනි ඉදිකිරීම හරහා කොමිස් ලබාගැනීම් හයේ හතරේ පහරවල්වලට වඩා පහසුවෙන් ගැසිය හැකි බව මේවාට අත පොවන අය දනිති. රාජපක්ෂ සමයේ ඉදිකළ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පසුව වල්වැදී වන අලි සහ පරවි රජදහනවල් වූයේ මේ රටේ මුදල් කාබාසිනියා කරමිනි.

නැවත රාජපක්ෂලාගේ පාලනයක් ආ නිසා කොහෙන් හෝ මුදල් හොයා එය නැවත හමුදාව ලවා නඩත්තු කරන තැනට පත්වී ඇත.

එවන් වටාපිටාවක නැවත අසන්නට ලැබෙනුයේ දියගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන්නට යන බවය. මෙය මීට පෙර සිට සිදු කරන්නට කල්යල් බැලූ වැඩකි. එහෙත් එයට අවශ්‍ය නිසි තල්ලුවක් නොලැබුණි. එහෙත් රාජපක්ෂලා මේ වැඩවලට ආස බැවින් ක්‍රිකට් ආයතනය කොරෝනා මැද්දේ වුව මේ වැඬේට මැදිහත් වී ඇත.

හම්බන්තොට ඉදිකළ ක්‍රීඩාංගණය මහින්ද රාජපක්ෂ යන නමට වෙන්වූ අතර මේ ඉදිකරන දියගම ක්‍රීඩාංගණය ගෝඨාභය රාජපක්ෂ ක්‍රීඩාංගණය වීමට ඉඩ ඇත.

දැනට ලංකාවේ ඉදි කරන විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙය වන අතර එහි මුල් අදියරේ ආසන 40,000ක්ද, දෙවැනි අදියර අවසන තවත් ආසන 20,000ක්ද ඇතුළුව සමස්ත ප්‍රේක්ෂක සංඛ්‍යා 60,000කට පහසුකම් සැපයීම මෙහි අරමුණය. ඒ අනුව ලංකාවේ විශාලතම ක්‍රීඩාංගණයට ගෝඨාභය රාජපක්ෂ ක්‍රීඩාංගණය ලෙස නම් තබන්නට ජනපතිට වුව කැමැත්තක් නැතැයි සිතිය නොහැකිය. ජනපතිගේ නම ගියද ඉතිරි බොහෝ දේ කාට යනු ඇත්දැයි කල්තියා කිවයුතු නැත. මේවා රටට ආදරයට කෙරෙන දෑම නොවන බව කිව යුතුය.

එදා හම්බන්තොට ක්‍රීඩාංගණය ඉදිකරද්දී පවා මෙවැනිම විරෝධයක් මතු වුවද ඒ නොතකා සියල්ල සිදුවිය. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල මූල්‍ය අර්බුදයකට ලක්විය. එහි ණය අදටත් ගෙවනු ලැබේ. එවන් වටාපිටාවක නැවත පිට්ටනි වුවමනා ඇයිද යන්න ප්‍රශ්නයකි.

මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන හතළිහක් පමණ වැයවෙනු ඇතැයි ගණන් බලා ඇත. ආණ්ඩුවේ දේශපාලන හොරණෑ මාධ්‍යයට පැමිණ කියනුයේ මේ සඳහා මෙරටට රුපියලක්වත් වැය නොවන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ සඳහා මුදල් ලබාදෙන බවය. එය අමු කෙප්පයකි. මේ මෙරට ක්‍රිකට් සංවර්ධනයට දෙන මුදල්වලින් ක්‍රිකට් ආයතනය සූදු කෙළීමකි. ක්‍රීඩාංගණ ඉදිකිරීමේදී අතයට ගැහිලි ඕනෑතරම් කළ හැකිවන අතර එයද ඩොලර්වලින් ඇස් උඩයන ගාණකට කළ හැකිය. මේ රහ ක්‍රිකට් ආයතනය මෙන්ම පාලකයෝද දනිති. කොරෝනා අස්සේ වුව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදීමේ කඩිමුඩිය ඇතිවන්නේ ඒ නිසාය. බන්දුලලා මුහුණු ආවරණය කරගෙනම වැඬේට බසිනුයේ මංකොල්ලකරුවන් ගාණටය. මේ හදිසිය ඇයි? රටේ කළයුතු වැඩ කප්පරක් තිබියදී මේ ඉක්මන පුදුමාකාරය. සැබැවින්ම කෑදරය.

අර්ජුන රණතුංග කියනුයේ මෙරට තුළ දැනටමත් ඕස්ටේ්‍රලියාවටත් වඩා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ඇති බවය. එය හාස්‍යයට කියන කරුණක් නොව සත්‍යයකි. මේ පුංචි රටේ දැනටමත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හතක් ඇත. ඒවා ආර්. ප්‍රේමදාස, එස්එස්සී., පී. සරා ඕවල්, ගාල්ල, හම්බන්තොට, දඹුල්ල සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය. අවුරුද්ද පුරාවම මේ ක්‍රීඩාංගණ සිටිනුයේ වැස්සට හේදෙමින්, අව්වට වේලෙමින් තරග නැතිව තනිවීය. කොටින්ම මේවායේ නඩත්තුවට විශාල මුදලක් මාසයකට වැය වේ. එය කොතරම් අපහසුද යන්න වැටහෙනුයේ ප්‍රේමදාස, හම්බන්තොට සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ නඩත්තුව ත්‍රිවිධ හමුදාවට භාරදී ඇති බැවිනි.

නව ක්‍රීඩාංගණයක් ඉදිකරනවාට වඩා එතෙක් ජාත්‍යන්තර තරග පැවැත්වූ මොරටුව ටිරෝන් ප්‍රනාන්දු සහ අස්ගිරිය ක්‍රීඩාංගණ නැවත නවීකරණය කිරීම උචිත බව අර්ජුන මෙන්ම මහේලගේද අදහසය. අර්ජුන, මහේල මෙන්ම රොෂාන් මහානාමද එළිපිටම මේ අනුවණ ක්‍රියාවට විරෝධය පළ කර ඇත. ඒ නිසාම අද මහේලව සමාජ මාධ්‍ය හරහා පතුරු ගසන තැනට තල්ලු වී ඇත.

අර්ජුන, මහේල, රොෂාන් මහානාම යනු ජාත්‍යන්තර මට්ටමේ ඉහළම නමක් රඳවා ගත් ක්‍රිකට් ක්‍රීඩකයන්ය. ඔවුන් තම රටේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකරනවාට විරුද්ධ නම් එය සිතිය යුත්තේ බරපතළ කරුණක් ලෙසය. ක්‍රිකට් මුදලාලිලාට වඩා මොවුන් ක්‍රිකට්වලට කර ඇති දේ මෙන්ම ක්‍රිකට්වලට ලැදි අය වෙති. ඔවුන්ට නූතන ක්‍රිකට් ගැන ලොව ක්‍රිකට් ගමන් කරන ආකාරය ගැන මනා කියවීමක් ඇත. එබැවින් මේ මොහොතේ ලංකාවේ ක්‍රිකට්වලට වුවමනා තවත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් නොවන බව මොවුන් දනිති. අවශ්‍ය මෙරට ක්‍රිකට් තමාගේ සිට දියුණු කරන ඉතා විධිමත් සැලැස්මක් බව මොවුහු දනිති. ඒ සඳහා මෙරටට ඇති ක්‍රීඩාංගණ නම් ඕනෑවටත් වඩා බවද මේ අය දනිති. ඒ සඳහා මෙරටට ඇති ක්‍රීඩාංගණ නම් ඕනෑවටත් වඩා බවද මේ අය දනිති. ඒ නිසා අනවශ්‍ය දේ අනවශ්‍ය යැයි කියන්නත් අවශ්‍ය දේ අවශ්‍ය යැයි කියන්නත් මොවුන්ට කොන්දක් ඇත. ක්‍රිකට් අරබයා යෝජනා ඉදිරිපත් කරන්නට ක්‍රිකට් විනාශ කරන බහිරවයන්ට වඩා මේ අයට අප්‍රමාණ සුදුසුකම් ඇත. එබැවින් අප එකෙන්ම හිටගනුයේ මේ අය පැත්තේය. මේ මොහොතේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වුවමනාම නම් අපට කලින් මෙය ඉල්ලා සිටිනුයේ මොවුන්ය.

දැනට මෙරට තුළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණ හතක් තිබියදී මෙරට තුළ ජවන හා පිටිය තරග සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයකට ඇත්තේ සුගතදාස ක්‍රීඩාංගණය පමණකි. එයද මීට දශක කිහිපයකට පෙර ඉදිකළ එකකි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයකට වඩා අත්‍යවශ්‍ය අංගයක් ලෙස පසුගිය කාලයේ දියගම ඉදිකරනවා යැයි කීවේ ක්‍රීඩා සංකීර්ණයකි. සුගතදාස ක්‍රීඩාංගණය ඇරුණු කොට තවත් ජාත්‍යන්තර මට්ටමේ සංකීර්ණයකි. එහෙත් ඒ වෙනුවට අද කතාබහ වෙනකකි.
ක්‍රිකට් ක්‍රීඩාව මෙරට ජනප්‍රියතම ක්‍රීඩාවය. ඒ ගැන විවාදයක් නැත. ඒ කියා ක්‍රිකට් එකම ක්‍රීඩාව ලෙස සැලකිය යුතු නැත. මෙරට තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හතක් තිබුණා කියා පසුගිය කාලය තුළ මෙරට ක්‍රිකට් විශාල සංවර්ධනයක් ලැබුවේ නැත. සීමිත රටවල් ප්‍රමාණය අතර අප සිටියේ අන්තයේමය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පරිහානියටම තල්ලු විය.

ක්‍රිකට් වෙනුවෙන් ඕනෑවටත් වඩා මුදල් ඇත. ක්‍රීඩාංගන ඇත. එහෙත් ක්‍රිකට් අසාර්ථකය. මෙරට පළමු පෙළ ක්‍රීඩා සමාජ 24ක් ඇත. ඒවායේ බොහොමයක් තරග පවත්වනුයේ එන්සීසී, එස්සීසී, පී. සරා ඕවල්, කොල්ට්ස්, බීආර්සී, ගාල්ල, පානදුර, මග්ගොන සරේ, මොරටුව ද සොයිසා, කටුනේරිය සහ වෙලගෙදර ක්‍රීඩාංගණවලය. සැබැවින්ම මෙරට ක්‍රිකට් සඳහා ක්‍රීඩාංගණ ඕනෑතරම්ය.

තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීම මේ මොහොතේ අනුවණකමකි. විශාල ධන නාස්තියකි. දේශපාලකයන් පිනවීමේ බාල උපක්‍රමයකි. රාජපක්ෂලා ඊට හසුවන බව ක්‍රිකට් ආයතන බහිරවයෝ හොඳටම දනිති.

දැනට ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල පවා තරග පැවැත්වෙනුයේ ඉතාම අඩුවෙනි. පසුගිය තුන් වසරටම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පවත්වා ඇත්තේ එක් තරගයකි. එමෙන් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පසුගිය වසර තුනට එකදු තරගයක් හෝ පවත්වා නැත. දැනට ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනවලත් එකදු තරගයක් හෝ වසර තුනකටම නොපවත්වයි නම් බොරුවට මේවා නඩත්තු කරනුයේ ඇයි? එලෙස කරමින් තව අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන්නට යනුයේ ඇයි? මේ සඳහා ක්‍රිකට් ආයතනය ඩොලර් මිලියන 15ක ණයක් ලබාගැනීමට බලාපොරොත්තු වේ. එතරම් ණයගෙන මේවා කිරීමේ අවශ්‍යතාව කුමක්ද?

ජනපති ගෝඨාභය මහින්ද රාජපක්ෂගෙන් වෙනස් වනවා නම් ඒ වෙනස් වන පළමු තැනක් ලෙස මෙය නවතා දැමිය හැකිය. මේ මහින්ද රාජපක්ෂගේ ආශාවන්ය. ඒ මේනියාව ජනපති ගෝඨාට නැතැයි අපි සිතමු. ඒ සිතුම නිවැරදි වන්නේ මෙවැනි ව්‍යාජ වැඩ නතර කරනවා නම් පමණි. වැඩකට නැති වැඩවලට නම යොදනවාට වඩා එවැනි බොරු ව්‍යාපෘති නවතා දැමීම නමට හොඳය. එය ජනපති සතුව ඇත්තකි. 

(ටිරන් කුමාර බංගගමආරච්චි-රාවය)