Language Switcher

V2025

කුවේට් අවතැන් කඳවුරේ ලාංකිකයන් 5000ක් කොවිඩ් අවදානමේ !

කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇති ආරක්ෂිත කඳවුරේ (safe house) සහ එරට රජය යටතේ ඇති අවතැන් කඳවුරේ රඳවා සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පන්දහසකට අධික පිරිසක් කොවිඩ් වැලඳීමේ දැඩි අවදානම් තත්ත්වයක පසුවන බව එරට ආරංචිමාර්ග පවසයි.

පසුගිය දිනවල කුවේට් සිට මෙරටට පැමිණ කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගෙන ඇති අයගෙන් බහුතරය මෙම ආරක්ෂිත කඳවුරේ සහ කුවේට් රජය යටතේ ඇති අවතැන් කඳවුරේ සිටි අය බව එරට සිටින ශ්‍රී ලාංකිකයෝ පවසති.

හාම්පුතුන් විසින් සිදුකරන හිංසාවන් නිසා පැන ආ ගෘහ සේවිකාවන් තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවසේ රඳවා ඇති අතර එය තානාපති කාර්යාල පරිශ්‍රයේම කොටසක පවත්වාගෙන යනු ලබයි. එහි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් දෙසීයක් පමණ සිටින බව තානාපති කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

ඊට අමතරව වීසා නොමැතිව ක්වේටයේ සිටින විදේශිකයන් හත්දහස් පන්සියයක් පමණ එරට රජය මගින් පවත්වාගෙන යන කඳවුරක රඳවා ඇති අතර විවිධ රටවල පිරිස් සමග ශ්‍රී ලාංකිකයන් පන්දහසකට ආසන්න පිරිසක් එහි රඳවා සිටින බවද ඉහත ප්‍රකාශකයා කීවේය.

කෙසේ වෙතත් මෙම ස්ථාන දෙකේම සිටින පිරිස අතර කොවිඩ් ආසාදිතයන් සිටීද යන්න සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක් නොපවත්වන බවත් කඳවුරු දෙකෙහිම දුරස්ථභාවය හෝ අන් කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරන බවටත් එම නිසාම එහි රැඳවූවන් දැඩි අපහසුවකට පත්ව ඇති බවත් ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

අජිත් අලහකෝන්-අරුණ