Language Switcher

V2025

ඩඩ්ලි හාල් මිල සටන දිනයි : රාජපක්ෂ පවුලට ස්තූති කරයි !

රුපියල් 90ට පැවැති නාඩු සහල් කිලෝවක් රුපියල් 96 ක් දක්වා ඉහළ යන ආකාරයට ඊයේ  (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනූව මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ඉල්ලීම ඉටුව ඇත.

එසේම තවත් සහල් වර්ග කිහිපයක මිල ද මේ සමග ඉහළ යාම අනිවාර්යයෙන් සිදුවේ.

ඉහත තීන්දුව ගෙන ඇත්තේ  ජනාධිපති, අගමැති, කෘෂිකර්ම අමාත්‍යවරයා සහ මහා පරිමාන මෝල් හිමියන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

‍පසුගිය දින කිහිපය තුළ සහල් මිල සම්බන්ධයෙන් මහාපරිමාණ මෝල් හිමියන් සහ රජය අතර මතගැටුමක් වැන්නක් පෙනෙන්නට තිබිණ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්  මාධ්‍යවේදීන් පිරිවරා ගෙන, පසුගිය 23 දා සවස පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ප්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් වැටලිමට ද කටයුතු කළේය.

එවන් පසුබිමක ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ මහා පරිමාණ මෝල් හිමියන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

ඒ අනුව රුපියල් 90ට පැවැති නාඩු සහල් කිලෝවක් රුපියල් 96 ක් දක්වා ඉහළ යනු ඇත.

සම්බා කිලෝවක් රුපියල් 08 කින් ඉහළ දැමීමට මෙහිදී එකඟ වී ඇති අතර එහි නව මිල රුපියල් 98 කි.

රුපියල් 125ක් වූ කීරි සම්බා කිලෝවක මිලෙහි කිසිඳු වෙනසක් සිදුවන්නේ නැත.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර පැවසුවේ, රුපියල් 50ක් වූ වී වල සහතික මිල අඛන්ඩව පවත්වා ගෙන යාමටත්, වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමටත් රජය මෙම තිරණය ගත් බවයි.

මේ අතර ලංකා සතොසින් සහල් කිලෝ 05 ක් පමණක් එකවර ලබාදීමට තීරණය කළ බව එහි සභාපති නුෂාඩ් පෙරේරා පවසයි.

Molවිශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඇතුලූනිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඩඩ්ලිගේ මෝලට කඩා වැදුන අවස්ථාව.

රාජපක්ෂ පවුලට ඩඩ්ලිගේ ස්තූතිය !

මේ සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ සභාපති, ඩඩ්ලි සිරිසේන සහල් මිල වැඩි කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති පමණක් නොව ඇමති චමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂට ද සිය භක්ත්‍යාදරය පිරිණමා ඇත.

ඔහු ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගැනීමේ පටු චේතානාවෙන් බැහැරව, පාරිභෝගික සේවා අධිකාරිය මඟින් පැණවූ සහල් මිල හේතුවෙන් අසරණ වූ ගොවි ජනතාව ඇතුලු කුඩා පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් දිගින් දිගටම හඬක් නැගූ මා ඇතුලු ප්‍රගතිශීලී ජනතාවගේ හඬට වටිනාමක් ලබාදුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයට මාගේ භක්ත්‍යාදරය මෙයින් පිරිණමනු කැමැත්තෙමි.

අද දින මහා පරිමාණ මෝල් හිමියන් සහ ජනාධිපතිවරයාගේ පාර්ශවය ඇතුලු රජය නියෝජනය කරමින් පැමිණි බළධාරීන් අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, දෙපාර්ශවය අතර අතිකරගත් එකඟතාවය පරිදී ඉදිරියේදී සහල් මිල ගණන් මෙලෙස සංශෝධනය කිරීමට ඔවුහු කැමත්ත පළ කල බව දන්වමි.

• නාඩු සහල්            - රුපියල් 96/=

• සම්බා සහල්          - රුපියල් 98/=

• කීරි සම්බා සහල්    - රුපියල් 125/=

රටට බත සපයන සමස්ත ගොවි ජනතාව සම්බන්ධයෙන් සහ දිවයින පුරා ඇති දෙහසකට ආසන්න කුඩා මෝල් සම්බන්ධයෙන් සංවේදී වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කෘෂිකාර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා සහ තිරය පසුපස හිඳිමින් මෙම ක්‍රියාන්විතයේ මිනිස් දම්වැල ශක්තිමත් කරන්නට පාදම සැකසූ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට මෙහි ගෞරවය පිරිණමමි.

එමන්ම මෙම ජයග්‍රහණයේ සැබෑම හිමිකරුවන් වන රටට බත සපයන ගොව් ජනතාව වෙනුවෙන්ද අවසාන වශයෙන් මාගේ ශීර්ෂ ප්‍රණාමය මෙයින් පුදකර සිටිමි.

තවද මෙම ගැටලුව පැණගැගි පළමු දිනයේ සිටම මා වටා හිඳිමින්, රටේ ගොවි ජනතාව වෙනුවෙන් සහ දේශීයත්වය වෙනුවෙන් හඬක් නැඟූ ගෞරවනීය සංඝරත්නය ඇතුලු සමස්ත ලක්වාසී ඔබ සැමටද කෘතවේදීත්වය මෙයින් පළකරනු කැමැත්තෙමි.''

ඔබ සැමට තෙරුවන් සරණයි. ඩඩ්ලි සිරිසේන