රංජිත් මද්දුමබණ්ඩාර ඉල්ලූ වාරණ නියෝගය ප්‍රතික්ෂේප වෙයි !

රංජිත් මද්දුමබණ්ඩාර ඉල්ලූ වාරණ නියෝගය ප්‍රතික්ෂේප වෙයි !

හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර  ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

අද (22) එම තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ මෙවැනි වාරණ නියෝගයක් ඉල්ලුම් කිරීමේ දී පැමිණිලිකරු විසින් සත්‍ය කරුණු ඒ ආකාරයෙන්ම අධිකරණය හමුවේ හෙළිදරව් කිරීම අවශ්‍ය බවයි.

එහෙත් මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමේ දී පැමිණිලිකරු සිද්ධිමය කරුණු යටපත් කරමින් අදාළ වාරණ නියෝගය අයැද සිට ඇතැයි පෙන්වා දුන් දිසා විනිසුරුවරිය ඒ අනුව එම වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළාය.

කෙසේ වෙතත් නඩුව නැවත ජුලි මස 27 වනදා කැඳවීමට නියම කළ දිසා විනිසුරුවරිය අදාල පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ උප නායක රවී කරුණානායක  වෙත නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළාය.

අද දින සිට සති දෙකක් ඇතුළත විරෝධතා තිබේ නම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද එම පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් වෙතද මෙහි දී අධිකරණය විසින් නියම කරනු ලැබීය.

පැමිණිලිකාර හිටපු අමාත්‍ය  රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ පැමිණිල්ල තුළින් සඳහන් කර තිබුණේ තමා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය නැමැති සංධානයකින් නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසුව සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට වගඋත්තරකරුවන් තීරණය කළ බවයි.

සමගි ජන බලවේගය නැමැති සන්ධානය ස්ථාපිත කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවත් එබැවින් එම සන්ධානය ස්ථාපිත කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් තමා ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර නොමැති බවත් හිටපු අමාත්‍ය  රංජිත් මද්දුම බණ්ඩාර සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණි.

මේ හේතුවෙන්ම තමන් ඇතුළු පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය ගනු ලැබූ තීන්දුව නීතියට පටහැනි බවට තීන්දු කොට තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු  සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

අදාළ පැමිණිල්ලේ  විත්තිකරුවකු ලෙස නම් කර සිටි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් සිය විරෝධතාවලින් අධිකරණයට දන්වා තිබුණේ සමගි ජන බලවේගය නැමැති පක්ෂයක් ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් කිසි විටෙකත් අනුමැතිය ලබා දී නොතිබූ බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න