Language Switcher

V2025

පොලිස් සැරයන්වරුන් 336ක් SI ඉල්ලා අධිකරණයට : හමුදාවේ 17000 කට උසස්වීම් !

වසර තිහක් සේවා කාලය සපුරා ඇති තමන්ව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස් සැරයන්වරු 366 දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

හමුදාවේ 17000කට උසස්වීම් !

එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ, මේ වන විට වසර 30 සේවා කාලය සපුරා සිටින තමන් වයස අවුරුදු 50 ඉක්මවා සිටින පූද්ගලයන් බවය.

2019 වසරේ මැයි මස 09 වනදා වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මඟින් 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදාට වසර 12 ක් සේවා කාලය සපුරා ඇති පොලිස් සැරයන්වරු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන ලෙස නියම කර තිබුණ ද තමන්ට එම උසස් වීම් නොලැබුණු බව පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

ඊට එරෙහිව තමන් ජාතික පොලිස් කොමිසම සහ වැඩබලන පොලිස්පතිවරයා වෙත අභියාචනා ඉදිරිපත් කළ ද එම අභියාචනා ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔවුන් පවසයි.

මෙම තත්ත්වය හමුවේ තමන්ට සිදුවී ඇති අසාධාරණය සැලකිල්ලට ගෙන තමන්ව උප පොලිස් පරීක්ෂකධුරයට උසස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටී.

මේ අතර යුද හමුදාපතිගේ නිර්දේශය මත පසුගිය මාස හයක කාලය තුළ යුද හමුදාවේ දාහත් දහසකට ආසන්න පිරිසකට උසස්වීම් ලබා දී ඇති බවශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රසිද්ධියට පත් කර ඇති නිල තොරතුරු වලින් හෙළිවේ.

ඒ අතර යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උසස් කරනු ලැබු  යුද හමුදා නිලධාරීන් ගණන තුන්සිය දහතුනක් වේ.

එම කාලය තුළ උසස් වීම් කර ඇති සෙසුනිලයන් ප්‍රමාණය දාසයදහස් හාරසිය දෙකක් බව යුද හමුදාව පවසයි.

ප්‍රශංසනීය සේවයට දිරීගැන්වීමක් !

 උසස් වීම් ලද යුද හමුදා නිලධාරීන් 313 දෙනා අතර බ්‍රිගේඩියර්වරුන් 29 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල්වරුන් 51 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන් 95 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර්වරුන් 138 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයටත් උසස් කර තිබේ.

 “ප්‍රශංසනීය සේවයට දිරීගැන්වීමක්” ලෙසින් එම උසස්වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව වැඩි දුරටත් සදහන් කරයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ පවසන්නේ මෙලෙස උසස්වීම් ලබාදීම මගින් චිත්ත ධෛර්යය සහ රාජකාරි සඳහා ඇති කැපවීම දිරීගන්වනු ඇති බවයි.

 එසේම, නිත්‍ය බලසේනාවේ සෙසුනිලයන් 14,617 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සෙසුනිලයන් 1785 ක් පසුගිය මාස කිහිපය තුළ ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර ඇත.

 "ජාතික රණවිරු අනුස්මරණ දිනයට" සමගාමීව සිදුකළ යුද්ධ හමුදාවේ සෙසුනිලයන් 14,617 කගේ නිල උසස් කිරීමට හේතු ලෙස දක්වා තිබුනේ, රටේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය ආරක්‍ෂා කිරීමේදී මෙන්ම ජන ජීවිතයට තර්ජනයක් එල්ලවන ස්වාභාවික විපත්, ත්‍රස්තවාදී තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනයන් හිදී යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලැබූ පරාර්ථකාමී සහ නොයෙකුත් කැපකිරීම් සඳහා වටිනාකමක් ලබාදෙමින්  යුද්ධ හමුදාවේ සෙසුනිලයන් දිරීගන්වමින් මෙලෙස උසස්වීම් සිදුකරනු ලබන බවයි.