Language Switcher

V2025

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා තේරුවේ ඉන්දියාවෙන් : අවිශ්ක සියල්ල හෙළිකරයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය හිමිකරුවන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පවා තෝරනු ලබන්නේ ඉන්දීය ව්‍යාපාරිකයන් යනුවෙනු පැවසුවහොත් ඔබ එකවර විශ්වාස නොකරනු ඇත. එහෙත් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයකු මෙන්ම, ශ්‍රී ලංකා "A"  ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු වූ අවිශ්ක ගුණවර්ධන මේ චෝදනාව සිදුකරයි.
පසුගිය අවස්ථා කිහිපයක අවිශ්ක ගුණවර්ධන තමන් ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට සිදුවූ අසාධාරණයක් සම්බන්ධව මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ නමුත් 2011 ලෝක කුසලානය පාවාදීමේ චෝදනාව සහ එය දැඩිව දේශපාලනීකරණයවීමත්, පසුව ඊට අදාළ පොලිස් පරීක්ෂණ අත්හිටවීම, ඇතුළු කරුණු රැසක් හේතුවෙන් එම අවනඩුවට අවශ්‍ය සමාජ අවධානය යොමුවුණේ නැත. කෙසේ වුවත් අවිශ්ක ගුණවර්ධන යළිත් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධව හඬ නගා සිටියි.
මෙවර ඔහු සම්මුඛව ඇත්තේ නව youtube චැනලයක් වූ Colombo Bar Talk  වෙතය. එහි "Watch Dog" විශේෂාංගය වෙත අදහස් දක්වමින් අවිශ්ක මීට පෙර මාධ්‍ය හමුවේ අනාවරණය කළාට වඩා සවිස්තරාත්මක අනාවරණයක් සිදුකර ඇති අතර එය පහත දැක්වෙයි.

පසුගියදා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයද  (ICC)  මෙරටට චෝදනා කර සිටියේ ක්‍රිකට් තරග කරන රටවල් අතර දුෂිතම රට ලංකාව කියාය. එවැනි චෝදනාවක් එල්ලවන විට සාමාන්‍ය අත්දැකීම වන්නේ මාධ්‍ය මෙන්ම ප්‍රේක්ෂකයන් කවුරු කවුරුත් ක්‍රීඩකයන් දෙස සැකමුසු බැල්ම හෙළීමය. ඒ ඔවුන් යම්කිසි ආකාරයකට තරගයක් පාවාදී ඇතැයි යන සරල අනුමානය නිසාය. ඇත්තටම නම් ඒ නිර්ණායක දැන් පරණය. 
නමුත් අනෙක් සෑම දූෂිත කටයුත්තක් සේම ක්‍රිකට් දුෂණද තේරුම් ගන්න දැන් නව මාන අවශ්‍ය බව සිදුවන සිදුවීම් වලින් පෙනෙන්නට ඇත. වඩාත් සරලව කියනවා නම් ක්‍රිකට් දුෂණ යනු තවදුරටත් බුකී කරුවකු වෙනුවෙන් ක්‍රීඩකයකු විශාල මුදලයක් යුතු ලෙස ඉපයීමට කරන තක්කඩි වැඩක් නොව ඊට වැඩි දෙයක් බවට පත්ව ඇත.
001
 
අවිශ්ක ගුණවර්ධන, දිල්හාර ලොකුහෙට්ටිගේ සහ නුවන් සොයිසා සම්බන්ධ ඉහත අවනඩුව තුළ අවිශ්ක දක්වන අදහස් වලදී ඒ බව යළියලිත් අපට තහවුරු විය.
ඈෂ්ලි ද සිල්වාට සද්ද නැතුව ඉන්න පුළුවන්ද ?
 
002
 
2017 සාජා හී පැවැත්වුණු T 10 තරගාවලිය සඳහා පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් සහභාගීකර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ය. ඒ වෙනුවෙන් සෘජු මැදිහත්වීම එවකට ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඈෂ්ලි ද සිල්වා සිදුකර ඇති බව අවිශ්ක පවසයි. අදටත් අප දන්නා පමණින් ශ්‍රී ලංකා ක්‍රිකට් හී ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ය. නමුත් අවිශ්ක ඇතුළු මේ අවනඩුවට මුහුණදී සිටින පිරිස සඳහන් කරන්නේ ඔහු පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම මේ සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවය. ඒ නිහඬ පිළිවෙත කොතරම් දරුණුද කියනවා නම් අවම වශයෙන් "තොරතුරු දැනගැනීමේ පණත යටතේ සිදුකල විමසීමකට පවා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැත.
සැබවින්ම මෙරට ක්‍රීඩා පණත අනුව ජාතික තලයේ කණ්ඩායමක් රටින් පිට විදෙස් තරගයක් සඳහා සහභාගී වනවා නම් ඊට අදාළ ජාතික සංගමයේ පමණක් නොව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ඊට අවශ්‍යය. ඒ අනුව එම නීතියට ශ්‍රී ලංකා ක්‍රිකට් ද ඇතුළත්ය. 
dav
පණතේ එසේ සඳහන් වුවත්, 2017 සාජා T 10 තරගාවලිය සඳහා ගිය කණ්ඩායමට තමන් අත්සන් නොකළ බව එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ දයාසිරි ජයසේකර පවසා ඇති බව අවිශ්ක සඳහන් කරයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ තරගාවලිය සඳහා සෘජු මැදිහත්වීමක් සිදුකර ඇති බවට සාක්ෂි තිබේ. එයින් එක් ප්‍රබල සාක්ෂියක් පහත දැක්වෙයි.
004
මේ ලිපිය යොමු කරන්නේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ඈෂ්ලි ද සිල්වා විසින්ය. මේ ලිපිය යොමුකර ඇත්තේ තරගාවලියේ සභාපති ලෙස කටයුතු කළ කෝටිපති ව්‍යාපාරික shaji Ul Mulk වෙතය. ඒ අනුව අලුතෙන් විමර්ශන කරන්න දෙයක් නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාව්වලිය සමඟ සෘජුව සම්බන්ධව ඇත. දැන් ප්‍රශ්නය එවකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අනුමැතිය ලබානොදුන් කණ්ඩායමක්,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්ව ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දෙවන පෙළ ක්‍රීඩකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගතව සිටින පුහුණුකරුවන් පමණක් නොව කළමනාකරුවන් 2017 සාජා T10 තරගාවලියට යොමුකළේ කෙසේද යන්නය. 
005 shaji ul mulk
 shaji Ul Mulk 
අනෙක් අතට මෙම 2017 අවස්ථාවේ අදාළ තරගාවලිය සඳහා ICC අවසරය ලබාදී තිබී නැත. ඒ බව එවකට විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබිණ. එවැනි පසුබිමක කණ්ඩායමක් " ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම" ලෙස ඊට යොමුකළේ කෙසේද යන්නත් ප්‍රශ්නයකි. ඊටත් වඩා ප්‍රශ්න සහගත කරුණ වන්නේ ලංකාවේ ක්‍රිකට් දුෂණ සෙවීමට කියා පැමිණි ICC පිරිස අදාළ දඬුවම පණවා ඇති ආකාරයයි.
අහන්නම ඕන ප්‍රශ්න ටිකක් !
මේ බව අවිශ්ක ගුණවර්ධන ඉහත වීඩියෝව තුළ පැහැදිළිව ප්‍රශ්න කරයි.  ඒ ප්‍රශ්න කිරීම නිවැරදිය. 
1. 2017 සාජා T 10 තරගාවලිය ICC අනුමැතිය යටතේ පැවැත්වුණු තරගාවලියක් නොවේ.
2. නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇත.
3. තරගාවලිය සංවිධානය කර ඇත්තේ පෞද්ගලික ව්‍යාපාරිකයකු වන අතර ඊට සහභාගීවූ ලංකා කණ්ඩායම ගිවිසුම් ගතව සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ පමණය.
4. ඒ අනුව ICC ය විසින් මේ වන විට තාවකාලික ක්‍රිකට් වාරණයක් පනවා ඇති අතර එහිදී අවිශ්ක ඇතුළු පිරිස ඒ ICC වාරණයට ඇතුළත් කර ඇත්තේ එක්සත් අරාබි එමීර් ආයතනය හරහාය.
5. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එමීරෙට්ස් ක්‍රිකට් සමඟ ඇති සම්බන්ධය පැහැදිළි නැත.
6. ඒ අනුව ICC දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ ගැන විමසිය යුතුව තිබිණ. නමුත් එවැන්නක් සිදුව නැත. 
 එබැවින් මේ සම්බන්ධව පළමුව ප්‍රතිචාර දැක්විය යුතුව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.
006
මෙහි ඇති තවත් වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම භාරකාර පාර්ශවයක් නැත්නම් තරගාවලිය තුළින් ශ්‍රී ලංකා කණ්ඩායම මිලදීගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සිටීමය. Kashif Rijas Shahzad සහ Vijay Vyas යනු ඔවුන් දෙදෙනාය. ක්‍රීඩකයන් මේ බව දැනගන්නේ තරගාවලිය සඳහා ඒ වෙත යාමෙන් අනතුරුවය. Kashif Rijas Shahzad සහ Vijay Vyas තරගාවලිය සමයේ විදෙස් මාධ්‍ය වෙත දක්වා ඇති අදහස් අනුව නම්, ලංකා කණ්ඩායම තෝරාගෙන ඇත්තේ පමණක් නොව නායකත්වය සඳහා දිනේෂ් චන්දිමාල් නම්කර ඇත්තේද ඔවුන් වැනිය. අවිශ්ක මේ සම්බන්ධව මාධ්‍ය වාර්තා ඇති බව සඳහන් කරන අතර ඒ බව අප කළ සොයා බැලීමේදී ද දක්නට ලැබිණ.
මෙම තරගාවලිය සඳහා ඉදිරිපත්වූ අනෙක් කණ්ඩායම් වල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සිටියත් ඒ ක්‍රීඩකයන් රටක් ලෙස ඉදිරිපත්ව නැත. අනෙක් සෑම කරුණකදී මෙන්ම මෙහිදීද ලංකාව හරි පුදුම ජාතියක් වී ඇත්තේ "ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම" (TEAM SRI LANKA ) ලෙස ඊට ඉදිරිපත්වීම හරහාය. ඒ නිසා අනෙක් කාටත් නැති වගකීමක් මේ අවනඩුව සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇත.
007

008

 
අදාළ තරගාවලිය නියෝජනය කළ කණ්ඩායම් සහ ක්‍රීඩකයන් පහත සබැඳියෙන් කියවාගත හැකිය.  https://en.wikipedia.org/wiki/2017_T10_League  
දැන් අප හැරෙන්නේ අවිශ්ක ඇතුළු ක්‍රීඩකයන්ට ඇති චෝදනා ගැනය. ඒ කුමක්ද යන්න අවිශ්ක පැහැදිළිව ඉහත වීඩියෝවේ සඳහන් කර ඇත. අපට අනුව නම් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සම්බන්ධ වූ පාර්ශව ගැන පමණක් නොව ICC යේ හැසිරීමත් සැකසහිතය. 
අදාළ චෝදනාව සම්බන්ධව ICC කරුණු දැක්වීම පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාවකාලික පදනමින් මොවුන්ව ක්‍රිකට් වලින් ඉව්වත්කර ඇත. මේ චෝදනාව පමණක් පදනම් කරගෙන පැනවූ තාවකාලික දඬුවමක් වුවත් දැන් ඊට මාස 14 පමණ ගතවී ඇත. නමුත් ක්‍රීඩකයන් ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට නැත. 
වඩාත් අවධානය යොමුකළ යුතු පසුබිම වන්නේ 2019 දී මේ ක්‍රීඩකයන් තාවකාලිකව ක්‍රිකට් වලින් ඉවත්කරන්න නිර්දේශ වන පසුබිමට පෙර  ICC දූෂණ වැළක්වීමේ පිරිසක්  මෙරටට පැමිණ තරු පන්තියේ හෝටල් වල නැවතී සිට සිදුකල විමර්ශන මොනවාද යන්නය. ලංකාවේ ක්‍රිකට් අන්ත දූෂිත බව කියන ICC ය ඊට පදනම් සාක්ෂිය ලෙස ගත්තේ "තමන්ට 2017  සාජා T 10  තරගාවලිය ගැන කේලම් නොකීමේ පදනමින්" අවිශ්ක වැනි හිටපු දක්ෂ ක්‍රීඩකයකු සහ මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් A වෙනුවෙන් හොඳම පුහුණුකරුවූ අයෙකුගේ ක්‍රිකට් ජීවිතය විනාශ වෙන්න ඉඩහැරීමද ? දිල්හාර ලොකුහෙට්ටිගේ වැන්නකුගේ ක්‍රීඩා දිවිය සදහටම නැති වෙන්න ඉඩදීම හරහා ලංකාවේ පමණක් නොව ලෝකයේත් ක්‍රිකට් දූෂණ අවසන් වෙයිද ? 
එපමණක් නොව, මෙවැනි ක්‍රිකට් වාරණයක් ICC ය හරහා  නැත. අවිශ්ක පවසන ආකාරයට මෙන්ම අපේ සාමාන්‍ය දැනුම අනුවත් තීන්දු තීරණ ක්‍රියාවට නැංවීමට පෙර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පමණක් නොව ක්‍රීඩා අමාත්‍යවරයා ද ඒ ගැන දැනුවත්වීම අත්‍යාවශ්‍යය. ඒ අනුව 2019 මේ සිදුවීම සම්බන්ධව ක්‍රිකට් ආයතනයේ නිහැඬියාව අමුතුවෙන් ලිවිය යුතු නැත. ඔවුන්ගේ ගුප්ත නිහැඬියාව තේරුම් කරවන්නේ "අබ කෑ අයගේ මොලය කොහොමත් දනවා" යන්නය. එහෙත්  එවකට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ නිහැඬියාව අප තේරුම් ගත යුත්තේ කෙසේද ? එපමණක් නොව මේ සම්බන්ධව අගතියට පත්ව ඇති අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා, දිල්හාර ලොකුහෙට්ටිගේ යන අයට තම නිදහස වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබාදීමටවත් ක්‍රීඩා විෂය භාර අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දුලා එදා මැදිහත්නොවීමේ රහස කුමක්ද? 
සැබවින්ම මේ තත්ත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වන සුවහසක් ප්‍රේක්ෂක ජනතාව තේරුම් ගන්නේ කොහොමද ? අවිශ්කලා බිල්ලටදී මහා පරිමාණ ක්‍රිකට් දුෂණ යට ගැසීමක් හෝ ඊට වැඩි යමක් සිදුව නැත්නම් දේශීය විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටින මේ අවනඩුව මාස 14ක් තිස්සේ ඇදෙන්නේ ඇයි ?  මහා ක්‍රිකට් දූෂණ ලංකාවේ කියා ICC ය චෝදනා කරන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිහඬ ඇයි ? ICC පවා චෝදනා ඇත්නම් නිශ්චිතව නොකියා වටේ යන්නේ ඇයි ?