මැතිවරණ මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ කැම්පේන්වලට බාධාවක් නිසාදැයි සැකයක් !

මැතිවරණ මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ කැම්පේන්වලට බාධාවක් නිසාදැයි සැකයක් !

2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනයක් මගින් රෙගුලාසි ලෙස කඩිනමින් බලාත්මක කිරීමේ නීතිමය අවශ්‍යතාව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳුදා (ජූලි 13) යළි අවධාරණය කළේය.

බිබීසී සිංහල සේවය කළ විමසීමක දී ඔහු සඳහන් කළේ මැතිවරණ පැවැත්වීම මෙන්ම ජනතාවගේ ජීවිත රැකගැනීම ද කළ යුතු බවය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ගැසට් නොකිරීම ගැන විස්තර කරන අයුරු.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ගැසට් නොකිරීම ගැන විස්තර කරන අයුරු.

''අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් තිබුණා ජුනි 17 වැනිදා. එතනට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය ලේකම් ඔක්කොම ඇවිල්ලා හිටියා. එතනදී එකඟ වුණා මේක ගැසට් කරවන්න. පසුව අපි නීතිපති හමුවුණා. සෞඛ්‍ය ඇමතිනියත් හමුවුණා. සේරම කියන්නේ ගැසට් කරනවා කියලා. අපි මුහුණ දෙන බරපතලම ගැටලුව තමයි සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ දක්වා නිසි ලෙස බලාත්මක නොවී තිබීම.'' යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ වගකීම සෞඛ්‍ය ඇමතිවරියට පැවරෙන බව පැෆ්රල් [PAFFREL] හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවයට පැවසුවේය.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ රෙගුලාසි ගැසට් නොකිරීම තුළ, ජනතාව එම උපදෙස් නොසළකා ක්‍රියා කළහොත් තමන්ට පැවරුණු දෙයක් නොකර සිටීමේ වරදට සෞඛ්‍ය ඇමතිවරිය වගකිව යුතු බවය.

''ජනාධිපති, නීතිපති, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මේ හැමෝම කියල තියෙද්දිත් සෞඛ්‍ය ඇමැතිනියට තියෙන බාධාව මොකක්ද කියලා අපිට හිතාගන්න බෑ. ඡන්දෙට කැම්පේන් කරන්න තියෙන බාධා නිසා මේක නොකරනවද කියන සාධාරණ සැකය තියෙනවා. මේ වෙලාවේ කොරෝනා නැවත වරක් මතුවෙන ලක්ෂණ පේන්න තියෙන නිසා මේක වහා කළ යුතුයි.'' යනුවෙන් රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරත් සඳහන් කළේ නීතියක් නොවුණද නිරෝධායන ක්‍රම අනුගමනය කිරීම සියලු පුරවැසියන්ගේ වගකීම බව ද පෙන්වා දෙමිනි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අදහස

මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට සෞඛ්‍ය අමාත්‍යවරිය සහ සෞඛ්‍ය ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට අප කිහිප වරක් උත්සාහ කළ ද එය සාර්ථක නොවීය. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ජූලි 13 වැනිදා ''දෙරණ අරුණ'' වැඩසටහනේදී පළකළේ මෙවන් අදහසකි.

''මැතිවරණය පිළිබඳ මාර්ගෝපදේශ සකස් කරල දැන් බොහෝ කල්. ඒ වගේම තමයි සමස්ත සමාජයේ ක්‍රියාවලින්, වෘත්තීය ක්‍රියාවලීන් සම්බන්ධයෙන් මේ තියෙන මාර්ගෝපදේශ සකස් කරලා වෙබ් අඩවි වලට පළ කරලා ප්‍රචාරය කරලා ගොඩක් කල්. ඒ නිසා ඒවා සිද්ධවෙලා තියෙනවා. ඒ ගැසට් කිරීමේ කතාන්දරය ගැන පහුගිය කාලේ කතා කළා. මං හිතනවා මේ වනවිට ගරු අමාත්‍යතුමිය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා කටයුතු කරයි කියලා. ඇතිවෙන තත්ත්වයන් අනුව යම්කිසි නෛතික රාමුවකට යොමු වෙන්නේ නැතුව මේ තත්ත්වයන් හොදින් පාලනය කර ගැනීමේ අවස්ථාවන් අපෙන් ගිලිහී යන බව කියන්න අවශ්‍යයි.'' යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී පැවසුවේය.

මොනවද මේ මැතිවරණ මාර්ගෝපදේශ ?

මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන පරිදි මූලික කරුණු තුනක් පදනම් කරගෙන මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සකස් කර ඇත.

01. මීටරයක දුර පවත්වාගෙන යෑම.

02. නිරතුරුව අත් සේදීම.

03. මුව ආවරණ පැළඳ සිටීම.

ඉහත මුලික කරුණු මත පදනම ලෙස ගෙන ඡන්ද ප්‍රචාරක කටයුතු සිදුකිරීමේදී, ඡන්ද විමසීම පැවැත්වීමේදී සහ ඡන්ද ගණන් කිරීමේදී අනුගමනය කළ යුතු මූලික පියවර මොනවද යන්න එකිනෙක විස්තර සහ රූපසටහන් සහිතව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ දක්වා ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 'අලුත් පොකුරක්' වාර්තා වීමත් සමග කොරෝනාවෛරසය ගැන යළිත් සමාජ අවධානය වැඩිවී ඇති බව පෙනෙන්නට තිබේ.

'කන්දකාඩු අලුත් පොකුර'

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 96 දෙනෙකු සඳුදා (ජූලි 13) පෙරවරු 10න් අවසන්වූ පැය 24 තුළ ආසාදිතයින් ලෙස අලුතෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ අනුව 'කන්දකාඩු අලුත් පොකුරෙන්' පමණක් රෝගීන් 491 දෙනෙකු ජූලි 10 වැනිදා සිට ජුලි 13 දක්වා කාලය තුළ වාර්තාවී ඇත.

කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කරන අය ඉන් පිටතට ගොස් තිබූ නිසා එම ආසාදිතයින් හා ඔවුන් ඇසුරු කළ අයද හඳුනාගෙන ප්‍රතිකාර සහ නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන නිලධාරියෙකු රාජාංගනයේ අවමංගල්‍ය උත්සවකට සහභාගී වී තිබිණි. එම නිවසේ පැවති දානයකට ද 150කට ආසන්න පිරිසක් සහභාගී වී ඇතැයි සෞඛ්‍ය බලධාරිහු පවසති. රාජාංගනයේ අසාදිත සංඛ්‍යාව 14කි. ඒ අතර සිටි 5 ශ්‍රේණියේ දරුවෙකු පාසල් යෑම නිසා එම පාසලේ දරුවන් ද නිරෝධායනයට යොමු කර ඇත.

පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන සඳුදා (ජූලි 13) සිට සිකුරාදා (ජූලි17) දක්වා කාලය තුළ දිවයිනේ සියලු රජයේ පාසල් යළි වසා තබන්නට රජය තීරණයක් ගන්නා ලදී. ඒ අනුව පුද්ගලික පාසල් හා උපකාරක පංති පැවැත්වීම ද අත්හිටුවා ඇත.

ජූලි 13, 14 සහ 15 තෙදින තුළ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සියලු ප්‍රචාරක රැළි අත්හිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කරන ලදී.

රාජාංගනය සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසය හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල තැපැල් ඡන්දය සඳුදා (ජූලි 13) පැවැත්වුණි.

කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළට

සඳුදා (ජූලි 13) පෙරවරු 10ට නිකුත් කෙරුණු දෛනික තත්ත්ව වාර්තාවට අනුව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 2617කි. වෙනත් රටවලින් පැමිණි විදේශිකයන් 31ක්, වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් 830ක් සහ නාවික හමුදා සාමාජිකයන් හා ආශ්‍රිතයන් 950ක් ද ඊට ඇතුළත්ය.

සුවපත් වූ සංඛ්‍යාව 1981කි. මරණ 11ක් වාර්තාවී ඇත. කොරෝනා බවට තහවුරු කළ රෝගීන් 625ක් සහ සැක සහිත රෝගීන් 112 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලැබේ.

(බීබීසී )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න