Language Switcher

V2025

ඒකාධිපති ගමන නැවැත්වීමට ජනතාව පෙරමුණ ගත යුතුයි : නීතිඥ උපුල් කුමාරප්පෙරුම 

"ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය කිව්වා රටේ විනයගරුක සමාජයක් හදනවා කියලා. වියත් මග කට්ටිය ඒකට ප්‍රශස්ති ගායනා කළා. විනයගරුක, යුක්තිගරුක සමාජයක් හදන්න නම් රටේ නීතිය හරියට ක්‍රියාත්මක කළ යුතුවාක් මෙන්ම දියුණු සදාචාරයක්ද ස්ථාපිත කළ යුතුයි. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයතන ස්වාධීන විය යුතුයි. නමුත් අද දූෂිතයන්ට, අපරාධකරුවන්ට, බැංකු කොල්ලකරුවන්ට නිදැල්ලේ ඉන්න ගෝඨාගේ ආණ්ඩුව ඉඩ හැරලා." යැයි ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු සභික නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ජාතික ජනබලවේගය ඊයේ (14) පැවැත්වූ මාධ්‍ය හමුවක අදහස් දක්වමින්ය.
එහිදී නීතිඥ උපුල් කුමාරප්පෙරුම වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුව පැමිණිලිකරුවන් චූදිතයන් බවට පත්කරලා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අපරාධ පරීෂක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් දැන් දේශපාලන පලිගැනීම් සඳහා පත්කළ කොමිසමට කැඳවනවා. ඒ කොමිසමට කැඳවන්න පුළුවන් සහ පැමිණිලි කරන්න පුළුවන් එසේ පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සේවකයින්ට පමණයි. නමුත් ඇවන්ගාඞ් අයිතිකරුවන් වැනි චෞරයන් දැන් එකට ගිහිල්ලා සුදනෝ වගේ. රාජ්‍ය සේවකයන්ට සහ විකල්ප දේශපාලන ව්‍යාපාරවල නිවැරදි මින්ස්සුන්ද එයට කැඳවන තත්වයක් උදා වෙලා. 

දැන් නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කරලා. එම ආයතන කෙරෙහි ජනතා විශ්වාසය බිඳ දමලා. ගෝඨාභය මහත්තයලට ඔය කියන බහුතර බලය දුන්නොත් තව තවත් භයානක දේ සිද්ධ වේවි. ජේ.ආර්. බලය පාවිච්චි කළ හැටි මේ රටේ ජනතාව අත්දුටුවා. ඒ තත්වයටත් එහා ගිය එකක් තමයි මේ ගොල්ලො දැන් රටට උදාකරන්න යන්නෙ. 

හමුදාවේ නිලධාරීන් 21 දෙනෙක් පරිපාලන සේවයේ ඉහළම පුටුවලට පත්කරලා. පරිපාලනයට ඉහළින් මිලිටරි මෙහෙයුමක් දියත් කරලා. ස්වාධීන කොමිෂන් සභා හරහා යම් පමණකට හෝ විවර වූ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ හකුළා දමන ගමනක් තමයි මේ යන්න හදන්නේ. 

එජාපයට මේ කිසිවක් අදාළ නැහැ. ඔවුන් අභ්‍යන්තර බල අරගලය ප්‍රමුඛ කොටගෙන කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම එජාපය සහ සමගි ජන බලවේගය දැනටමත් ඉඟි කරලා තියෙනවා, ඡන්දන් පස්සේ ගෝඨාභයගේ දෑත් ශක්තිමත් කරන බවට. මේ ඒකාධිපති ගමන නතර කිරීමට නම් ජනතාව පෙරට ආ යුතුයි. ඒ සඳහා ඔවුන් තොරා ගත යුත්තේ ජාතික ජන බලවේගයයි.
මෙම අවස්ථාවට සහභාගීවූ ජාතික ජනබලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂකයන් කිහිපදෙනෙකුම එහිදී අදහස් දැක්වූ අතර ඒවා පහත පළවෙයි.
 
 7B0A6578
 
රාජපක්‍ෂ පිල උත්සාහ දරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම හකුළා දමන්නයි - ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු සභික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක 

 මේ මැතිවරණයේදී රාජපක්‍ෂ පිල 2/3ක බලයක් ඉල්ලනවා. මේක ඉතා භයානක පෙර නිමිත්තක සංඥාවක්. ඒ ගොල්ලෝ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියනවා. නමුත් ඒක මොන වගේ එකක්ද කියලා කියන්නේ නැහැ. ඒ සඳහා ජනතා අදහස් විමසීමකුත් නැහැ. මෙතෙක් ගෙනාපු හැම ව්‍යවස්ථාවක්ම ජනතාව සඳහා ගෙනාපුවා නොවෙයි, පාලකයින්ගේ වුවමනාවට ගෙනාපුවා. මේ ගොල්ලො හදන්නේ 19වැනි සංශෝධනයත් ඉවත් කරලා යම් තරමකට හෝ ඉස්මතු වෙලා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩත් වසා දමන්නයි. 

විකෘති කර ඇති රාජ්‍ය ව්‍යූහය අපි ප්‍රකෘතිමත් කරනවා : ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු සභික, හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් 

මේ ආණ්ඩුව දැන් 5/2001 දරන අවශේෂ කැලෑ ආරක්‍ෂක පනත ඉවත් කරන්න තීරණයක් අරගන. අනෙක් පැත්තෙන් වැලි පර්මිට් ඉවත් කරලා, දේශපාලුවන්ට හා ජාවාරමුන්ට ඕන ඕන විදිහට වැලි ගොඩ දාන්න ඉඩ දීලා. මනම්පිටියේ ප්‍රසිද්ධ දේශපාලඥයෙක් දිනකට වැලි ටිපර් සිය ගණන් පටවනවා. මේ තත්වය නිසා රටේ ගංගාවලින් 70% අනතුරේ වැටිලා කියලා පරිසරවේදීන් කියනවා. අවශේෂ කැලෑව රිසි සේ ගස් කපාගෙන යන්න ඉඩ ලැබෙන ආකාරයට තමයි ආරක්‍ෂක අණ පනත් ඉවත් කර දමන්නේ. 

2016.01.01 සිට 2020.01.01 දක්වා විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරන්න ගෙනා චක්‍රලේඛය මේ ආණ්ඩුව බලය අරන් 2020 ජනවාරි 08 වන විටම එම චක්‍රලේඛය අහෝසි කළා. ඉන් විශ්‍රාමිකයෝ 170,000ක් පමණ අසරණභාවයට පත්වී තිබෙනවා. ඒ වගේම ඉහළ පරිපාලන සේවයේ අයට දුන් රු. 15,000 දීමනාව දැන් අහෝසි කරලා දාලා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්වලට ලබාදුන් 15% පොලිය 8% දක්වා පහත හෙළලා. ආණ්ඩුවේ බලධාරීන් කියන්නේ එහෙම අඩු කළේ නැහැ කියලා. නමුත් අපි බැංකුවලින් විමසලා බැලුවාම ඒ ගොල්ලෝ කිව්වේ 8% දක්වා පොලිය අඩු කරලයි තියෙන්නේ කියලා. අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවකයන්ගේ අතිකාල කපලා දාලා. මේ සියලු  දේවල් කරන ආණ්ඩුව බොරුව සමාජගත කරන්න උත්සාහ දරනවා. 

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය සම්පූර්ණයෙන්ම ඉවත් කර මාස 06කට වරක් ඉහළ යන ජීවන අංකයට සමගාමීව වැටුප් වැඩිවීමක් කරන බවට පොරොන්දු වී තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය ස්වාධීන සේවාවක් බවට අපි පත් කරනවා. අද රාජ්‍ය නිලධාරීන් ඉතාම හෑල්ලුවට දාලයි තියෙන්නේ. සමහර නිලධාරීන්ව මේ දේශපාලුවෝ තමන්ගේ දූෂණ හා වංචා කිරීම් සඳහාද පාවිච්චි කරමින් ඉන්නවා. 

ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා තමන් බලයට ආ ගමන් මේ තත්වය සම්පූර්ණයෙන්ම නතර කරනවා කියල තමයි කිව්වේ. අද ගල්කිස්ස, වැල්ලවත්ත මුහුදු තීරයේ වැඩි ගොඩකරලා රු. මිලියන 890ක් රටට අහිමි කරලයි තියෙන්නේ. ටෙන්ඩර් එක දුන්නේ ඩෙන්මාර්ක් සමාගමකට. ඒ සමාගම වෙනුවෙන් ලංකාවේ සමාගමක් තමයි වැඬේ කරන්න භාර ගත්තේ. වැලි ටික දාලා සතියකින් මුහුදට ගහගෙන ගියා. දැන් එළිවෙලා තියෙනවා, ටෙන්ඩර් ගත්තු සමාගම ගෝඨාභයලගේ මැතිවරණ ව්‍යාපාරයට විශාල මුදලක් වියදම් කළා කියලා. 

අද රාජ්‍ය සේවය විකෘති වෙලා. මෙය ප්‍රකෘතියට පත්කළ යුතුයි. එය කිරීමේ දියුණු වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය සතුව තිබෙනවා. මේ ආණ්ඩුව 19වැනි සංශෝධනය අයින් කරන්න 2/3ක බලයක් ඉල්ලනවා. මේ අනතුරුදායක තත්වයන්ට මුහුණ දෙන්න එජාපයට කිසි සේත්ම බැහැ. ඒක දැන් දෙකට තුනට කැඩිලා. මේ ඒකාධිපති ගමන නවත්වගන්න නම් අගෝස්තු 05වැනිදාට මාලිමාව ඉදිරියේ කතිරය ගසා ජාතික ජන බලවේගයේ ප්‍රබල කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතුමයි. 
 
රෝග නිවාරණ විශේෂඥයෝ පැත්තකට දමා කොවිඞ් මැඩලනු බැහැ  : ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු සභික, විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත අබේසේන 

මේ ආණ්ඩුව ඇවිල්ල දැන් මාස අටයි. රොහල්වල පෝලිම් එන්න එන්න වැඩිවෙලා. බෙහෙත් හිඟය උග්‍ර වෙලා. රසායනාගාර පරීක්‍ෂණ රජයේ රෝහල්වල කරන්නේම නැති තරම්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැවත කරළියට ඇවිල්ලා. ප්‍රවාහන ක්‍ෂේත්‍රය මුළුමනින්ම අවුල් වෙලා. නීති ක්‍ෂේත්‍රය ගත්තත් තත්වය ඒකයි. අනෙක් පැත්තෙන් දේශප්‍රේමය ගැන කතා කරන ගමන් විදෙස් බලවතුන් ඉදිරියේ දණ නමනවා. වරාය දොඹකර සිද්ධිය ඊට හොඳ උදාහරණයක්. හැම එකටම කොවිඞ් වසංගතය පෙන්වලා ආණ්ඩුව ඇඟ බේර ගන්න හදනවා. නාවික හමුදාවේ දහසකට වඩා පිරිසකට රෝගය වැළඳිලා. ඔවුන් මේ වසංගතයේදී විශාල සේවයක් කළා කියලා අපි දන්නවා. ආණ්ඩුවේ එක ඇමතියෙක් කියලා තිබුණා, මේක ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයක් කියලා. මේක එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. එනිසා මෙය මැඩලීමේදී සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට තමයි බලතල සහ පහසුකම් දිය යුත්තේ. දියුණු සෞඛ්‍ය අංශයක් අපිට තිබෙනවා. නමුත් රෝග නිවාරණයට ඉන්න විශේෂඥයෝ පැත්තකට දාලා මේ රටේ දේශපාලකයෝ තම තමන්ට ඕනෑ අංශවලට වැඬේ බාර දීලා තත්වය වණ කරගෙන ඉවරයි. 

හරිනම් වැලිසර වගේ නේවී කෑම්ප් මේ වසංගතයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකුගේ අධීක්‍ෂණය යටතේ තැබිය යුතුයි. ඒකත් හමුදාවට බාර දීලා. ඒකෙන් අර නාවික හමුදාවේ සෙබළු අමාරුවේ වැටුණා. කන්දකාඩුවල තත්වයත් ඕකයි. මේ ගොල්ලො පෝස්ටර් ගහනවා, කොවිඞ් පාලනය කළ ආණ්ඩුව දිනවන්න කියලා. නමුත් එය පැතුරුව කට්ටිය තමයි මේ අය. 

පාස්කු ප්‍රහාරයට පසුගිය එජපය ආණ්ඩුවේ ලොක්කොත් මේ ආණ්ඩුවේ සමහර ලොක්කොත් වගකිව යුතුයි. සහරාන්ලගේ ඉතිහාස කතාව ගත්තම මේ දෙගොල්ලන්ගෙම ඔවුන්ට රැකවරණ ලැබී තිබෙනවා. පාස්කු ප්‍රහාරයට මේ රටේ ජනතාව විරුද්ධ නම් අපි ජනතාවගෙන් අහනවා, අලියට, පොහොට්ටුවට, ටෙලිෆෝනයට ඔබට ඡන්දය දෙන්න පුළුවන්ද කියලා. ආණ්ඩුව ඇවිත් මාස 8ක් ගෙවිලත් පාස්කු ප්‍රහාරයෙන් බැට කෑ අහිංසක මිනිස්සුන්ගේ පවුල්වලට මොනවද කළේ? 

රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට සේවය කරන විවිධ විද්වත් සංවිධාන තිබෙනවා. ඔවුන් සහ අපි අතර විශාල වෙනසක් තිබෙනවා. අපි හොරකමට විරුද්ධයි. නව ලිබරල්වාදයට විරුද්ධයි. ජාතිවාදයට විරුද්ධයි. ඒ වගේම සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. අපි එය භාවිතයෙන්ම ඔප්පු කරලා තිබෙනවා. අද විපක්‍ෂයක් කියල එකක් නැහැ. මේ විනාශයන්ට එරෙහිව නැගී සිටින එකම බලවේගය ජාතික ජන බලවේගයයි. මේ මැතිවරණයේදී මාලිමාව ඉදිරියේ කතිරය ගසා ජාතික ජන බලවේගය දිනවීම ජනතාවගේද වගකීමක් වෙනවා.

කොරෝනා පිට දාලා කලාප කම්කරුවන්ගේ බෝනසුත් කපලා : ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු සභික, ඩාබිඳු සාමූහිකය සංවිධානයේ චමිලා තුෂාරි

කොවිඞ් වසංගතය පිට දාලා මේ වනවිට කලාප කම්කරුවෝ දහස් ගණන් එළියට දමමින් ඉන්නවා. කම්කරු නීති මුලුමනින්ම පැත්තකට දාලා. ආණ්ඩුවේ බලධාරීන් හාම්පුතුන්ව හුරතල් කරලා. ඇඟළුම් කර්මාන්ත ක්‍ෂේත්‍රය කඩා වැටිලා. 

මේ වනවිට ඇඟළුම් සේවක සේවිකාවන්ගෙන් 62%ක් රක්තහීනතාවයෙන් සහ මන්දපෝෂණයෙන් පෙළෙනවා කියලා කම්කරු දෙපාර්තමේන්තුවම කියනවා. මේ කර්මාන්ත ශාලාවල පසුගිය ඇඳිරිනීති කාලය තුළ කම්කරුවන්ගෙන් බලෙන් වැඩ අරන් තියෙනවා. 

බොරුවට කම්කරු කාර්යසාධක බලකායවල් හැදුවට ඒවා හාම්පුතුන්ව හුරතල් කරනවා ඇරෙන්න කම්කරුවන්ට කරන සේවයක් නැහැ. මේ වනවිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ නිල මූලික වැටුප රු.15,500යි. නමුත් බොහෝ පෞද්ගලික කම්හල්වල මූලික වැටුප දෙන්නේ රු.14,500යි. අනෙක් අතට කොරෝනා පිට දාලා සේවකයන්ගේ බෝනස් කපලා. වෙළඳ කලාපවල සේවය කරන්නේ වැඩිපුරම කාන්තාවෝ. ඔවුන්ගේ ජීවිත අතිශයින්ම දුක්ඛදායකයි. දැන්වත් ඔවුන් තේරුම් ගත යුතුයි මේ රටේ දිනවිය යුතු ඇත්ත මිනිස්සුන් කව්ද කියලා. ජාතික ජන බලවේගය පැත්තට වහ වහා ඔවුන් ඇදී ආ යුතුයි. 

මේ ආණ්ඩුව බුරියානි කතා කියමින් මුස්ලිම් ජනතාව රවට්ටනවා : ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු සභික, සමාජ ක්‍රියාකාරී මුනීර් මුලාෆර් 

මේ දවස්වල ආණ්ඩුවේ මැති ඇමත්තෝ මුස්ලිම් සම්මේලන පවත්වලා බුරියානි කතා කියමින් යනවා. මේ ළඟකදී රටේ ප්‍රබල ඇමතිවරයෙක් මුස්ලිම් සමාජය වෙනුවෙන් සම්මේලනයක් තිබ්බා. ඔහු කළ කතාව මාධ්‍යවලට පටිගත කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒකට හේතුව තමයි මොවුන් මුස්ලිම් සමාජයට එකක් කියනවා, අනෙකුත් ජනතාව අතරට ගිහිල්ලා තව එකක් කියනවා. ජාතිවාදය වපුරල ඡන්ද ගන්න එක මේ ගොල්ලො අත් නොහරින පුරුද්දක්. අපි කණගාටු වෙනවා, අපිට තවමත් ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගන්න බැරිවීම ගැන. 

ක්‍රිකට් ක්‍රීඩාවට අපි කව්රුත් ආදරෙයි. නමුත් දැන් මේ ආණ්ඩුව අතීතය හාරලා කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන්ව මර්දනයේ ගොදුරක් කරලා. අද බලවතුන්ගේ මංගල, අවමගංල උත්සවවලදී නිරෝධායන නීති තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. රටේ සාමාන්‍ය ජනතාව අමාරුවෙන් හරි සෞඛ්‍ය නීති පිළිපැද්දා. මේ ආණ්ඩුව දැන් ඒකත් කඩා බිඳ දාලා.

රටක් දියුණුවීමට නම් ජාතික සමගිය තිබිය යුතුයි. වර්තමාන ආණ්ඩුවේ අපේක්‍ෂක ලැයිස්තුවේ උතුර නැගෙනහිර හැර අන් ප්‍රදේශවල දෙමළ හෝ මුස්ලිම් නියෝජනයන්ට ඉඩක් ලැබී නැහැ. අනෙකුත් ජාතිකත්වලට දෙන්න යන තැන මේකෙන්ම පේනවා.
ජාතිවාදය, අසමාන ලෙස සැලකීම, සම්පූර්ණයෙන්ම තුරන් කළ ජාතික සමගිය වෙනුවෙන් හදවතින්ම ක්‍රියා කරන එකම බලවේගය ජාතික ජන බලවේගයයි. එය දිනවීම ඔබේ යුතුකමයි. 

මේ පාලකයෝ ජනතාවට දීල තියෙන එකම දේ අසාර්ථක රාජ්‍යයක් පමණයි : ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක, ශ්‍රී ලංකා මැලේ සම්මේලනයේ සභාපති, නීතිඥ, තුවාන් කේ අසූර් 

අපේ රට නිදහස ලබලා අවුරුදු 72යි. ඒ 72න් රට පාලනය කරපු ආණ්ඩු රටේ ජනතාවට ලබා දී තිබෙන එකම දෙය අසාර්ථක රාජ්‍යයක් පමණයි. අද ප්‍රධාන යැයි කියන පක්‍ෂ දෙකේ උදවිය වේදිකාවල දොඩවන පල්හෑලි දැක්කම රටේ ඇත්ත ප්‍රශ්න ගැන කිසිම අවබෝධයක් හෝ වුවමනාවක් ඔවුන්ට නැති බව හොඳින්ම පෙනී යනවා. රට ගොඩනගන ප්‍රතිපත්තිමය දේශපාලන කතා ඒ වේදිකාවල ඇහෙන්නෙම නැහැ. එවැනි පැහැදිලි කිරීම් ජනතාවට කරන එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි. 

යුද්ධයෙන් පස්සේ රට එක්සත් කරන්න ජනතාවගේ ජාතික සමගිය ගොඩනගන්න හොඳ අවස්ථාවක් මේ පාලකයන්ට ලැබුණා. නමුත් ඒ වෙනුවට ඔවුන් කළේ තම බලය සඳහා නැවත නැවතත් ජාතිවාදය ඇවිස්සීමයි. දැන් නැවත 2/3ක බලයක් ඉල්ලනවා රටේ සියලුම ප්‍රශ්නවලට විසඳුම හැටියට. මේ ගොල්ලො හිතාගෙන ඉන්නේ මේ රටේ ඡන්දදායකයා එච්චරටම මෝඩයෝ කියලයි. 

මේ අය ඇවිල්ලා මාස කිහිපයයි. රටේ වටිනා ජාතික සම්පත් කිහිපයක්ම විකුණලා දැම්මා. ඊළගට කැලෑ ටිකත් වනසන්නයි යන්නේ. අපි මේ රටේ ජනතාවට කියන්නේ දැන් මේ විනාශය හොඳටම ඇති. මේ බොරුවට අහු වුණා හොඳටම ඇති. දැන්වත් මිනිස්සු මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න කතා කරන ඇත්ත මිනිස්සු දිනවන්න තීරණය කරන්න. ඒ සඳහා ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයෝ මේ මැතිවරණයේදී පුලුවන් තරම් පාර්ලිමේන්තුවට යවන්න.