දේශීය සිනමාව රැකගැනීම උදෙසා දෙවසරක වැඩපිළිවෙළක්

දේශීය සිනමාව රැකගැනීම උදෙසා දෙවසරක වැඩපිළිවෙළක්
කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක කාලයකට සහන ලබා දීමට අදාළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
 
සිනමා කර්මාන්තයේ නියැළි වෘත්තිකයන්ගේ සංගම් හා සංවිධාන ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි. චිත්‍රපට නිෂ්පාද සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය හා සිනමාශාලා හිමියන්ගේ සංගමය මෙම හමුවට එක් විය. 
 
කොවිඩ් -19 අර්බුදය හමුවේ සිනමා කර්මාන්තය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ සිනමාශාලා හිමියන් මෙම හමුවේදී අග්‍රාමාත්‍යතුමාට පැහැදිලි කළේය.
 
එහිදී 2021-2023 ජන ආකර්ෂණීය චිත්‍රපට 25ක් ප්‍රදර්ශනය කිරීම හා මෙම අභියෝගාත්මක කාලයේ දේශීය සිනමා කර්මාන්තය නඟා සිටුවීමට අදාළ ප්‍රායෝගික වැඩපිළිවෙළ මෙන්ම සිනමා ශාලාවල වර්තමාන තත්ත්වයත් අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කෙරිණි.
 
සිනමා ශාලා හිමියන්ගේ විදුලි ගාස්තු ඒකක ගණනය කිරීමේ දී කර්මාන්ත ගණයට ගෙන එම අය කිරීම ඉදිරියට ගෙනයාම, විනෝද බද්ධ වසර දෙකක කාලයක් සඳහා සියයට 05 දක්වා අඩුකිරීම, බෙදාහැරීමේ ගාස්තු අහෝසි කිරීම හෝ අවම කිරීම, මේ සම්බන්ධ තීන්දු ගැනීම විශේෂ කමිටුවක් යටතට පත්කිරීම, සිනමා පට නිෂ්පාදනය සඳහා සියයට 4 හෝ 6 පොලී අනුපාතයට රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම, සහනදායී ලෙස රාජ්‍ය හා සියලු මාධ්‍යවල ප්‍රචාරක වැඩපිළිවෙළක් ඇති කිරීමට මෙම හමුවේදී අවධානය යොමු විය.
 
මෙම යෝජනාවලට අදාළ තීන්දු ගැනීම සඳහා එක් එක් ආයතන හා අංශ වෙත යොමුවී සාකච්ඡා කරන ලෙස අග්‍රාමාත්‍යතුමා මෙහිදී දැනුම් දුන්නේය.
 
ඒ අනුව අදාළ ආයතන හා අංශ දැනුවත් කරමින් ඉදිරියේදී මෙම සහන ක්‍රියාත්මක කිරීමට අදාළ අවසන් තීන්දුවලට එළැඹීමට නියමිතව ඇත.
 
බන්දුල ගුණවර්ධන චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙසත්, අමාත්‍ය සරත් වීරසේකර චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් මෙම අවස්ථාව සඳහා සහභාගීවීම විශේෂත්වයකි.
 
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මුදල් අමාත්‍යංශ  ලේකම් එස්.ආර් ආටිගල, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් සහ දේශීය සිනමා ශිල්පීන්ගේ සංගමයේ සභාපති රොහාන් වැලිවිට, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස ඇතුළු චිත්‍රපට සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක, ශ්‍රී ලංකා සිනමා ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී රැකව, ශ්‍රී ලංකා සිනමා නිෂ්පාදකයන්ගේ සංසදයේ සභාපති රසිත ජිනසේන ඇතුළු ඒ ඒ සංගම් නියෝජනය කරමින් කලාකරුවන් රැසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න