'ඥානා අක්කාගේ හෝටලය හදන්නේ හමුදාවෙන්' යනුවෙන් පසුගිය 03 දා 'ලංකා' පුවත්පතේ පළ වූ ප්‍රධාන ශීර්ෂපාඨය, මුළුමනින්ම අසත්‍යයක් බවත්, එය මඩ ගැසීමේ, අපහාස කිරීමේ, නින්දා කිරීමේ, ........ අරමුණින් ගොතන ලද්දක් බවත් ෆෙස්බුක්හි කමෙන්ට් පළකරමින් පැවසූ මහත්වරුන්ට... තමන්ගේ මතය දැරීමට ඇති අයිතියට ගරු කරන අතරම, මෙසේ පැවසිය යුතුය.
Never argue with someone who believes their own lies !
* ජනවාරි 03 'ලංකා' පුවත
ඥානා අක්කාගේ හෝටලය
හදන්නේ හමුදාවෙන් !
රට පාලනය කරන්නේ අනුරාධපුරයේ ඥානා අක්කා දැයි ආණ්ඩුවට සමීප පාර්ශ්ව විසින්ම ජනාධිපතිවරයාගෙන් කළ විමසීම්වලට අදාළ කාන්තාවට අයත් ඉඩමක හෝටලයක් ඉදිකිරීම සඳහා යුද හමුදාව යොදවා තිබේ.
අනුරාධපුර, නුවර වැව පාරේ මෙම කාන්තාවට අයත් දේවාලය යනුවෙන් හඳුන්වන ස්ථානය පිහිටා ඇත. එම භුමියේම යුද හමුදාවේ ඉංජිනේරු බලකාය යොදවා ආවරණ සහිතව අදාළ ඉදිකිරීම කරන බවත්, යුද හමුදා සාමාජිකයන් විශාල පිරිසක් එහි රැඳී සිටින බවත් ප්‍රදේශවාසීහු පවසති. අදාළ භූමිය වටා විශාල තාප්පයක් ද මේ වනවිට ඉදිකෙරෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් 'ලංකා' කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ නිල වශයෙන් තමන්ට එවැනි දැනුම්දීමක් කර නැති බවයි. එම නිසා අදාළ කරුණ සම්බන්ධයෙන් අදහසක් පළකළ නොහැකි බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ප්‍රදේශවාසීන් අවධාරණය කරන්නේ මෙසේ ආවරණය කරගෙන සිදුකරන ඉදිකිරීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළ තරුණයකු ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීම්වලට ලක්වී ඇති බවයි. අදාළ තරුණයාගේ ජංගම දුරකතනය ද අදාළ ආරක්ෂක අංශ සාමාජිකයන් භාරයට ගෙන ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
අදාළ ස්ථානයේ සිදු කරන මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතියක් ලබාගෙන තිබේද යනුවෙන් අප කළ විමසීමකදී අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී.සෝමදාස සඳහන් කළේ නගර සභාවෙන් එවැනි සැලසුමක් අනුමත කර ඇති බවයි. ඊට අදාළ ඉදිකිරීම්වල වර්තමාන තත්ත්වය සහ එය හෝටලයක්ද-නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් නොදන්නා බව ද පැවසූ නගරාධිපතිවරයා, අදාළ අනුමැතියට පිටින් යමක් සිදුවන්නේදැයි පරීක්ෂා කළ හැකියැයි ද සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙසේ පෞද්ගලික ඉදිකිරීමක් සඳහා යුද හමුදා සාමාජිකයන් යෙදවිය හැකිදැයි වර්තමාන ආණ්ඩුවේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නිල වගකීමක් දරන ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරියකුගෙන් අපි විමසීමක් කළෙමු. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ව්‍යාපෘති කළමනාකාරවරයෙකු වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා හේරත් පැවසුවේ කිසිදු හේතුවක් මත පෞද්ගලික ඉදිකිරීම් සඳහා යුද හමුදා සාමාජිකයන් යොදාගත නොහැකි බවයි. යුද හමුදා සාමාජිකයන්ට රජයෙන් වැටුප් ගෙවන්නේ ජාතික ආරක්ෂාව සහ රජයේ කටයුතු සඳහා බවත්, පෞදගලික කටයුතු සඳහා ඔවුන් යෙදවීම බරපතළ වරදක් බවත් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
* ජනවාරි 10 'ලංකා' පුවත
හෙළිදරව්වෙන් පසු
ඥානා අක්කාගේ දේවාලයෙන්
හමුදාව ඉවත් කරයි !
'ඥානා අක්කාගේ හෝටලය හදන්නේ හමුදාවෙන්' යනුවෙන් 'ලංකා' පුවත්පත පසුගිය 03 දා මුල් පුවතින් කරන ලද හෙළිදරව්වෙන් පසු අදාළ සේවා සඳහා නීතිවිරෝධී ලෙස යොදවා තිබූ හමුදා සාමාජිකයන් ඉන් ඉවත් කර තිබේ.
පසුගිය 06 වැනිදා මෙම යුද හමුදා සාමාජිකයන් අදාළ ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, මේ වනවිට අදාළ දේවාල භූමියේ යුද හමුදා සාමාජිකයන් නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි. අනුරාධපුර, නුවර වැව පාරේ පිහිටි මේ කාන්තාවට අයත් දේවාලය යනුවෙන් හඳුන්වන ස්ථානයේ පිටුපස කොටසේ අදාළ හෝටලයේ ඉදිකිරීම් සිදුවෙමින් පැවැති අතර, ඊට අමතරව එම භූමිය වටකර විශාල තාප්පයක් ද හමුදා සාමාජිකයන් යොදවා ඉදිකරමින් පැවතිණි.
රට පාලනය කරන්නේ අනුරාධපුරයේ ඥානා අක්කා දැයි ආණ්ඩුවට සමීප පාර්ශ්ව විසින් ම ජනාධිපතිවරයාගෙන් කළ විමසීම් නිසා මෙම කාන්තාව මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් විය. කෙසේ වෙතත් මෙසේ යුද හමුදා සාමාජිකයන් යොදවා පෞද්ගලික ඉදිකිරීමක් කිරීම නීතිවිරෝධී බව යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් 'ලංකා' පසුගිය සතියේ අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ කළ විමසීමේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පුවත්පතට සඳහන් කළේ එවැන්නක් පිළිබඳ නිල දැනුම්දීමක් තමන්ට ලැබී නොමැති බවයි. එය ප්‍රතික්ෂේප කරන බවක් හෝ අදාළ තොරතුර අසත්‍ය බවක් ඔහු පුවත්පතට සඳහන් කර තිබුණේ නැත.
** මේ 'වැඩ' සිදුවන ආකාරය සම්බන්ධයෙන් ද අප නොදන්නවා නොවේ !
(ලංකා ඉරිදා සංග්‍රහය - ශාලික විමලසේන )

