ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සහ නීතියේ ආධිපත්‍යය "බිඳ වැටීම" ගිය සතිය තුළ, දෙස්, විදෙස් අවධානයට ලක්විය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම වෙද්දී, මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලවල ප්‍රබල අවධානයට ලක් වී තිබුණි.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම 'පිල්ලෙයාන්' මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව විය.
2005 නත්තල් දින නත්තල් දේව මෙහෙයකට සහභාගි වෙමින් සිටියදී පරරාජසිංහම් හිටපු මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවෙන් පිල්ලෙයාන් මන්ත්‍රීවරයා ඇතුළු චුදිතයන් පස් දෙනාම නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරන විනිසුරුවන් සහ නීතිවේදීන්ගෙන් සමන්විත ICJ නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම, යුද සමයේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත්වීම දැඩිව හෙලා දැක තිබිණ.
එම වෙඩි ප්‍රහාරයේදී ජෝසප් පරරාජසිංහම් ගේ බිරිඳ ඇතුළු අට දෙනෙකු තුවාල ලැබූහ.
චුදිතයන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගන්නේ මන්දැයි නීතිපතිවරයා හෙළි කර නොමැති බව පෙන්වාදෙන ICJ සංවිධානය, වසර පහකට පසුව චෝදනා ඉල්ලා අස්කර ගැනීම හඳුන්වන්නේ ප්‍රහාරයේ වින්දිතයන්ට එල්ලකරන ලද බරපතල පහරක් ලෙසිනි.
'පිල්ලෙයාන්' නිදොස්කොට නිදහස්කරන ලද්දේ, මේ ආකාරයටම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය පිළිබඳ චෝදනා ලබා සිටි නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු චුදිතයන් පස් දෙනා සිංහල පමණක් කතාකරන ජූරි සභාවක් විසින් නිදහස් කරනු ලැබීමෙන් වසර කිහිපයකට පසුව බවත් නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම සිහිපත් කරයි.
ඇම්නස්ටි ජාත්‍යන්තරය !
ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ, "ඓතිහාසික අපරාධ සම්බන්ධයෙන් රාජ්‍යයට සම්බන්ධ පුද්ගලයන්ට දිගින් දිගටම දණ්ඩ මුක්තිය හිමි නොවිය යුතු," බවය.
"වගවීමෙන් තොරව, ශ්‍රී ලංකාවට කිසි දිනෙක මේ අඳුරු පරිච්ඡේදයේ පිටුව පෙරලීමට නොහැකිවනු ඇති," බවද ඇම්නස්ටි ජාත්‍යන්තරයේ මහ ලේකම්වරයාගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ඩේවිඩ් ග්‍රිෆිත්ස් පැවසීය.
ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය සම්බන්ධ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ද නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම සහ ඇම්නස්ටි ජාත්‍යන්තරය (Amnesty International) නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි.
අතීත අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමෙහිලා දේශීය යාන්ත්‍රණ දිගින් දිගටම අපොහොසත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ "දණ්ඩ මුක්ති චක්‍රය නිමා කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ඉදිරියට ගෙනයාම පිණිස ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු" බව ද ඇම්නස්ටි ජාත්‍යන්තරය සඳහන් කරයි.
යුද අපරාධ චෝදනා
මේ අතර සිය වාර්ෂික වාර්තාව නිකුත් කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය බරපතල ලෙසින් බිඳ වැටුණු බවය.
ආරක්ෂක හමුදා විසින් ආණ්ඩුව විවේචනය කරන බව සැලකෙන නීතිවේදීන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන් සහ වින්දිතයන්ට එරෙහිව කෙරෙන බිය වැද්දීම් සහ ඔත්තු බැලීම් උත්සන්න කළ බව පවසන හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ වාර්තාව, මුස්ලිම් සහ දෙමළ සුළු ජාතීන්ට ද නොසලකා හැරීම් සහ තර්ජනවලට මුහුණ දීමට සිදු වූ බව පෙන්වා දෙයි.
රාජපක්ෂ ආණ්ඩුව විසින් සම්මතකර ගන්නා ලද 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින්, අධිකරණයේ ස්වාධීනත්වය යටපත් කෙරුණ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැනි ආයතන දුර්වල කෙරුණ බව එම සංවිධානයේ (Human Rights Watch) ස්ථාවරය වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මෙන්ම ඔහු විසින් ජ්‍යෙෂ්ට තනතුරුවලට පත්කරන ලද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ ආරක්ෂක හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී ශවේන්ද්‍ර ද සිල්වාට එරෙහිවත් යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙන බවත් 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය සිහිපත් කරයි.
වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ, කෝවිඩ්19 වසංගතය සමයේ මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් වූ සමාජ මාධ්‍ය ජාල ප්‍රචාර වැළැක්වීමට පියවර නොගත් ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන් නොනැවතී, 'මහජන සෞඛ්‍ය සඳහා අවශ්‍ය නොවුවද" කොරෝනාවෛරසය වැළඳී මියයන මුස්ලිම් ජනතාව බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවය.
මේ වසරේ පෙබරවාරි සිට මාර්තු දක්වා පැවැත්වෙන සැසියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය අවධානයට ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
"ශ්‍රී ලංකාව යළිත් වරක් 'පැරණි අඳුරු යුගයට' පා තැබීම වැළැක්වීම පිණිස ඒ ගැන අවධානය දක්වන රටවල් තමන්ට හැකි සියල්ල කළ යුතුය," යනුවෙන් පවසන 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයේ දකුණු ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂිකා මීනක්‍ෂි ගංගුලි අවධාරණය කරන්නේ, ''වගවීම සහතික කරන මෙන් ශ්‍රී ලංකාවට බලකෙරෙන එක්සත් ජාතීන්ගේ යෝජනාවක් සම්මත කිරීම පිණිස අදාළ රටවල් කටයුතු කළ යුතු'' බවය.
හිජාස් හිස්බුල්ලාටත් කොරෝනා !
පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ වීමේ චෝදනා මත පසුගිය වසරේ අප්‍රේල් 14 වෙනි දින සිට පොලිස් අත්අඩංගුවේ පසුවන මානව හිමිකම් නීතිවේදී හිජාස් හිස්බුල්ලා පසුගිය ජනවාරි 08 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
එහෙත් නීතිවේදී හිජාස් හිස්බුල්ලාට කෝවිඩ්19 රෝගය වැළඳී ඇති බැවින් අධිකරණය වෙත ඉදිරිපත් කළ නොහැකි බව එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
ඔහු තවත් දින 90 ක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන විමර්ශනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනවාරි 11 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
ත්‍රස්ත විරෝධී නීතිය යටතේ වසර ගණනාවක් සැකකරුවන් රඳවා තබා ගැනීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ද කරුණු දක්වා තිබිණ.