Language Switcher

V2025

මහරගම ගැටුණේ බැසිල් සහ විමල් පාර්ශව : තාවකාලික ජය විමල් පාර්ශ්වයට !

මහරගම නගරයේ බස් නැවතුම්පොළ ආශ්‍රිතව සහ ඒ අවට වෙළඳසැල් පසුගියදා ඉවත්කිරීමට යෑමේදී ඇති වූ ගැටලුව තාවකාලිකව විසඳාගැන්මට හැකිව ඇත.

ඒ අදාළ වෙළෙඳ සැල් අද (16) සිට  විවෘත කිරීම හරහා වන අතර මහරගම  නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර  පැවසුවේ අදාළ වෙළෙඳසැල්  විවෘත කිරීමට අවසර ලබාගත් බවය.

එසේම ඊයේ (15) ඇතුළු පසුගිය දිනවල මහරගම තෝරාගත්  වෙළෙඳ සැල් ප්‍රමාණයක් ඉවත්කිරීමට උත්සාහ කිරීම සම්බන්ධව අමාත්‍ය සරත් වීරසේකර එරෙහිව දැඩි විරෝධයක් දක්වනුද දක්නට ලැබිණ.මේ සම්බන්ධව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහරගම එළියට පැන්නේ ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබූ බල ගැටුමක් බවය.

බැසිල් වාදීන් සහ බැසිල් විරෝධීන් අතර ගැටුම !

වනවිට ආණ්ඩුව තුල බැසිල්වාදී හා බැසිල් විරෝධී වශයෙන් පිල්  දෙකක් ඇති බව රහසක් නොවේය. මේ පිල්දෙක එකිනෙකාට එරෙහිව අවි මුවහත් කරමින් සිටින බවත්  කාටවත් රහසක් නොවේය.

විමල්, ගම්මන්පිල, වාසු, දිනේෂ් ඇතුළු  ජාතිකවාදීන්ගේ  අදහස 2015  පරාජයෙන් පසු 'මහින්ද සුළඟ' හරහා යළි රාජපක්ෂවරුන් බලමුළු ගැන්වීමට  තමන් ගත් වෙහෙස - මහන්සිය,  හිටි හැටියේ ලංකාවට පැමිණි බැසිල් විසින් කොල්ලකා ගත් බවය.

බැසිල් පාර්ශවය හිතන්නේ තමන් නැත්නම් මේ ජාතිකවාදී නඩේ නන්නත්තාර බවය.  

පසුගිය මහා මැතිවරණයේදීත් මේ දෙගොල්ලන්ගේ ගැටුම ජයටම තිබුණේය. ඒ සටනේ ජය බැසිල්ටය.

ඒ විමල්ගේ කණ්ඩායම දෙවන තැනට ඇද දමමින්, එහෙමත් නැත්නම් ඔවුන්ගේ අපේක්ෂකයින් පරාජය කරවමින් තමන්ගේ හිතවතුන් වැඩිම මනාපයෙන් දිනවිමට බැසිල් සමත්වූ නිසාය.

විමල්ලාට කැපිල්ලක් !

මැතිවරණයෙන් පස්සේ ඇමති තනතුරු, සභාපතිකම් පිරිනැමීමේදීත් විමල්ලා ඇතුළු ජාතිකවාදීන්ට හිමිවුයේ කුඩම්මාගේ සැලකිලිය.  එහෙමයි කියා දෙගොල්ලන්ගේ ගැටුමත් අඩුවක් නැත. 

මේවනවිටත්  බැසිල්ට එරෙහිව ජාතිකවාදීන් මෝටාර් ප්‍රහාර එල්ලකරමින් සිටින්නේ ඒ අනුවය.

ජාතිකවාදීන්ගේ චෝදනාව වී ඇත්තේ දේශපාලන බලවේගවලින් ජනාධිපතිවරයාව ඈත් කර, හුදෙකලා කර,  ජනාධිපති ගෝඨාභය අසාර්ථක බව හැඟවීම බැසිල්ලාගේ අපේක්ෂාව බවය.

බැසිල්ලාගේ කණ්ඩායමේ ඒ කුරුමාණම  2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයා ලෙස බැසිල්ව ඉදිරිපත් කිරීම බවත් ජාතිකවාදීන්ගේ චෝදනාව වී ඇත.

බැසිල් පළාත් සභා ජන්දය ඉක්මනින් පැවැත්වීමට බලකළත් ඒකටත් ජාතිකවාදීන් මේ මොහොතේ විරුද්ධය.

ඒ පළාත් සභාව ඉක්මනින් තියන්න බැසිල් සූදානම් වන්නේ ඔහුගේ දෙවන පෙළ නායකයින් පිරිසකට දේශපාලන ඉඩක් සලසාදීම බවට චෝදනා කරමින්ය. ඒ සටනේ නම් දැනට ජය ජාතිකවාදීන්ටය.

මහරගම පසුගියදා ඇතිවූ ගැටුම හටගත්තේත් ඔය අතර වාරයේය.  

ආණ්ඩුව පාර්ශවයේ කොළඹ දේශපාලන නායකයින් වන්නේ දිනේෂ් හා විමල් ය. ඒ නායකත්වය මැදට අලුතෙන් එවූ බැසිල්ගේ ගෝලයා සරත් වීරසේකරය.

පසුගිය මහ මැතිවරණයේදීත්  විමල්, ගම්මන්පිල  හා දිනේෂ් පහලට ඇද දමා සරත්ව කොළඹින් එකට එන්න ගේම ගැසුවේත්  බැසිල්ය.  එහිදී ජාතිකවාදීන්ට වැදුනේ ලේසියෙන්  අමතක නොවන වැදිල්ලක්ය. 

කොළඹ දේශපාලන බලය උරගා බැලෙන සටන් මරු වලේ අන්කෙලියක් ලෙස  කරලියට පැමිණ ඇත්තේද ඒ අනුවය.

සරත් වීරසේකර මහරගමට බැසීම !

Newstube.lk වෙත ලැබී ඇති තොරතුරු අනුව මහරගම නගරයේ මාර්ග පුළුල් කිරීම සඳහා යයි කියමින්, අනවසර ඉඳිකිරීම් ඉවත් කිරීමේ  උත්සාහය පිටුපස සිටින්නේ  සරත් වීරසේකරය.  වහාම අනවසර වෙළඳසැල් කඩ කාමර ඉවත්කරන්නැයි පොලිසිය බාර ඇමති සරත්, මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදී ඇති නියෝගය මෙතෙක් ක්‍රියාත්මක වී නැත. ඒ ආණ්ඩුවේම පිරිසකගේ බලපෑම නිසාය.

නියෝගයට වැඩ නොකිරීම නිසා  ඇමති සරත් දැන් සූදානම  මහරගම පොලිසියේ OIC ව මාරු කරන්නය. මහරගම දේශපාලන බලය අත්කර ගෙනසිටින කොඩිකාරලාත්  සරත්ගේ නියෝගයට එරෙහිව පාරට බැස ඇත. ඒ කඩන්න කියා ඇති  කඩ කාමර ආණ්ඩුවේම  ආධාරකරුවන්ගේ  බව කියමින්ය.

සටනේ තාවකාලික ජය විමල්ලා කොඩිකාරලාට : ඒත් ඩලස්ට වුණ දේ මතකද ?

මේ සටනේ ජය දැනට විමල්ලාට , කොඩිකාරලා පාර්ශ්වයටය. බැසිල්ට එරෙහි විරෝධය ජනපති හා අගමැති සොයුරන් හොඳින්ම දන්නා නමුත් ඔවුන් දෙදෙනාද හොරගල් අහුලමින් ඉන්නා බවක් පෙනෙන්නට ඇත.  

ඒ හමුවේ  අප යලිත් අවධාරණය කරන්නේ, වතුරවලට වඩා සහෝදරයින්ගේ ලේ ගනකම් බව සෙස්සෝ අවබෝධකර ගනිත්වා කියාය.

නැත්නම් ඔය දැන් දඟළන අයටත් වෙන්නේ  ඩලස්ට වෙච්ච සන්තැසියමය.