කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට විරුද්ධව කටයුතු කරන වරායේ පුමුඛ පෙළේ වෘත්තීය සමිති නායකයෙකු වන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් පී. නිරෝෂන් ගොරකානගේට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වාර්තා වෙයි.
ආරංචිමාර්ග පවසන ආකාරයට නිරෝෂන් ගොරකානගේ ව බණ්ඩාරනායක තටාක අංශයේ සිට නියමු පාලන අංශයට ස්ථාන මාරු කර ඇත.
වරාය වෘත්තීය සමිති පවසන ආකාරයට නිරෝෂන් ගොරකානගේ සිය වෘත්තීය සමිතියේ කටයුතු සඳහා නිදහස්වූ අයෙකු වෙයි.
එලෙස වෘත්තීය සමිති කටයුතු සඳහා නිදහස් කරන ලද සේවකයින් සිය වෘත්තීය සමිති කටයුතුවලට බාධා වන අයුරින් මාරු කිරීමට කිසිම නීති ප්‍රතිපාදනයක් නොමැති බවත් සාමාන්‍ය සේවකයෙකු මාරු කරන ආකාරයට ඔවුන්ව මාරු කිරීමටද කිසිම හැකියාවක් නැති බවත් වෘත්තීය සමිති පවසයි.
එවැනි සේවකයින්ට ස්ථානමාරු ලබා දෙන්නේ නම් එය සිදු කළ හැක්කේ සිය වෘත්තීය සමිති කටයුතුවලට පහසුවන ස්ථානයකටය.
කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ආණ්ඩුවේ උත්සාහයටවිරෝධය දක්වමින් වරාය සේවකයින් සංවිධානය වෙමින් පවතින පසුබිමක ආණ්ඩුව මෙලෙස කටයුතු කරන්නේ වරාය විකිණීමට එරෙහි සටන කඩාකප්පල් කිරීමට බවත් ඔවුන් පවසයි.

