Language Switcher

V2025

ප්‍රමිති ආයතනයේ DG නෝනාගේ ප්‍රමිතිය අන්තිමයි ! (වීඩියෝ )

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන සිද්ධිකා සේනාරත්න සිදුකරන කිසිඳු ප්‍රමිතියක් නැති කටයුත්තක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

ඒ  තමන් යටතේ සිටින ඉහළ නිලධාරීන්ට පවා තර්ජනය කරමින් ඔවුන් ලවා තමන්ගේ සිතැඟි අදහස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරවීම සඳහාය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සිදුකරන මේ තර්ජනය කිරීමේ සහ බලපෑම් සම්බන්ධව වීඩියෝවක් ද ලීඩර් TV youtube චැනලය විසින් ප්‍රසිද්ධ කර ඇති අතර එය පහත දැක්වෙයි. 

මෙම පටිගත කිරීම සිදුකරනු ලැබුවේ අප හිතවත් මාධ්‍ය කණ්ඩායමක් විසින් වන අතර එහිදී සම්මුඛ සාකච්ඡාව සඳහා ආරාධනා කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ  අධ්‍යක්ෂ ජනරාල්වරිය වන සිද්ධිකා සේනාරත්නටය. නමුත් එහිදී ඇය එම ආරාධනය ප්‍රතික්ෂේප කර එම සම්මුඛ සාකච්ඡාව සඳහා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරියක් (අලෙවි සහ ප්‍රචාරක ) වෙත පවරා ඇත. පසුව එම අලෙවි සහ ප්‍රචාරක අධ්‍යක්ෂවරිය සම්මුඛ සාකච්ඡාව සඳහා එක්වන අතර එහි අතර මැද තමන්ට අවශ්‍ය ආකාරයට පිළිතුරු දෙන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉතා දැඩි බලපෑම් සිදුකරන ආකාරය  දැකගත හැකිය. වඩාත් අවාසනාවන්ත සහ කිසිසේත් අනුමත කල නොහැකි ක්‍රියාව වන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය තෘප්තිමත් වනතුරු අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙන ලෙස අලෙවි-ප්‍රචාරක අධ්‍යක්ෂවරිය වෙත බලපෑම් කිරීමය. තමන් කියන ආකාරයට  අලෙවි - ප්‍රචාරක අධ්‍යක්ෂවරිය ප්‍රකාශ නිකුත් නොකරන්නේ නම්  එම තනතුරට වැඩක් නැති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය බලපෑම් කරමින් පවසයි. එමෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසන දේ කීමට කියා බලකිරීමෙන් පසුව ආයතනය සකස්කර දුන් පත්‍රිකාවක් බලා පිළිතුරු දීමට යාමේදී එයත් වළක්වන බවත් වීඩියෝවේ පැහැදිළිව දක්නට ලැබේ. එපමණක් නොව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධව මාධ්‍ය හරහා එල්ලවී ඇති චෝදනා සම්බන්ධව මාධ්‍යවේදියා ප්‍රශ්න කිරීමට සූදානම් වන අවස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඊටද විරෝධය දක්වයි.    දිගින් දිගටම ඇය මෙසේ දැඩි බලපෑමක් සිදුකරන අතර ඒ හේතුවෙන් වැඩසටහනේ පටිගත කිරීම් සඳහා ද බාධා සිදුවන බවක් පැහැදිළිව දක්නට ඇත.  මාධ්‍ය සම්බන්ධව කිසිම විශ්වාසයක් නැති බවත් ඒවායේ යන සියල්ල බොරු බවත් මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසන අතර තමන්ට දිලිත් ජයවීර වගේ වාරණ නියෝග ගැනීමට නොහැකි බවත් පවසයි. මෙහිදී  සකස් කර දෙන පිළිතුරු ප්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අලෙවි සහ ප්‍රචාරක අංශයේ අධ්‍යක්ෂිකාවට මේ ආකාරයට තර්ජනය කිරීම කුමන ප්‍රමිතියකට සිදුකරාද යන්න ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එසේම අලෙවි සහ ප්‍රචාරක අංශයේ අධ්‍යක්ෂිකාව වෙත මාධ්‍ය  ඉදිරියේම බලපෑම් කර ඇති අතර, ඇය විසින් එසේ ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ විට මාධ්‍ය ඉදිරියේම ඇයට බැණවැදී තර්ජනය කිරීම කොහොමටවත් අනුමත කල හැකි ක්‍රියාවක් නොවන බවත් අමුතුවෙන් කිවයුතු නැත.

ඊටත් වඩා වැදගත් කරුණක් ඇත. ඒ මේ ආකාරයට කෙක්කෙන් හෝ කොක්කෙන් අලෙවි හා ප්‍රචාරක අධ්‍යක්ෂවරිය හරහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කියවා ගන්න යන්නේ මොකක්ද යන්නය. ඒ අන් කිසිවක් නොව unilever නිෂ්පාදනය කරන සබන් වල සිරුරට අහිතකර Detergent (SDBS ) අඩංගු බව ප්‍රශ්න කිරීම හමුවේ SDBS තිබීම ප්‍රශ්නයක් නොවන බවට තහවුරු කරන ලෙස පවසමින්ය.  මේ  සබන් ප්‍රමිතිය සම්බන්ධව අධිකරණයේද නඩුවක් විභාග වූ අතර එහිදීද unilever පාර්ශවය පරාජය වී ඇත. පාර්ලිමේන්තුවේ පවා මේ ගැන පසුව ප්‍රශ්න කෙරුණේ ඒ අනුවය.  ඒ අනුව ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙනී සිටින්නේ ආයතනයේ ප්‍රමිතිය රකින්නද ? නැත්නම් කාගෙවත් සබන් වල ප්‍රමිතිය පරිස්සම් කරදෙන්නද යන ගැටලුව මතුවේ.  ඒ බව තවත් තහවුරු කරන්නේ යුරෝපා සංගමයේ සිට  ලංකාවේ අක්ෂි සහ සම සම්බන්ධ විශේෂඥයන් SDBS ගැන අවශ්‍ය තහවුරුව ලබාදී ඇති බවත් ඒ බව පවසන ලෙස අලෙවි-ප්‍රචාරක අධ්‍යක්ෂවරියට බලපෑම් කරන අවස්ථාවය. එහිදී අලෙවි-ප්‍රචාරණ අධ්‍යක්ෂවරිය ඊට අදාළ ලිඛිත සාක්ෂි තමන්ට දෙන ලෙස ඉල්ලා සිටින නමුත්, ඒ වෙනුවට අධ්‍යක්ෂ ජනරාල්වරිය බල කරන්නේ ඒවා තමන් සතුව ඇති බවත් ඒ නිසා කියන ලෙස පවසමින්ය. හරි ප්‍රමිතිය නම් ආයතනය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉදිරිපත්ව සාක්ෂි සහිතව මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කිරීමය. එහිදී SDBS අනුමත කර යොමුකළ  මෙරට අක්ෂි - සම සම්බන්ධ විශේෂඥ වාර්තා ඉදිරිපත් කිරීමය. ඒ හැර මාධ්‍ය වළට හැංගි ආයතනයේ නිලධාරීන්ට සද්දේ දමා නැති ප්‍රමිති ඔප්පු කරන්න යාම අසාර්ථකය. ප්‍රමිතිය කියන්නේ ඕක නොවන අතර, ඔය ප්‍රමිතියට යාමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ද ප්‍රමිතිය නැති වීමය.