Language Switcher

V2025

බිලියන 11ක සීනි වංවාව ගැන  අල්ලස් කොමිසමට පැමිණිල්ලක් : මයන්ත ජනපති කොමිසමකුත් ඉල්ලයි

රුපියල් බිලියන 11කට අධික මුදලක් රජයට අහිමි කරමින් සිදු කරන ලද බව කියන සීනි වංචාව සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක ඊයේ (01)අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ගොනු කළේ ය.

එම පැමිණිල්ල ගොනු කරමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ සීනි වංචාව පිළිබඳ අල්ලස් කොමිසමේ පරීක්ෂණයෙන් නොනැවතී මේ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ද පත්කොට වරදකරුවන්ට දඬුවම් දිය යුතු බවයි.

මෙම පැමිණිල්ල ගොනු කිරීම සඳහා සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි, ජාතික සංවිධායක චමිත් විජේසුන්දර සහ නීතිඥ මාධව ජයවර්ධන ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍යයට කරුණු දැක්වූ දිසානායක මහතා මෙසේ පැවසීය. "සීනී ආනයනනික බද්ද කිලෝවකට රුපියල් 50සිට ශත 25ක් අඩු කිරීමත් ඒ සමග එක්තරා පුද්ගලික සමාගමක් විසින් සීනි මෙට්‍රික් ටොන් 73000ක් මෙරටට ආනයනය කිරීමත් සමග විශාල අලාභයක් සිදුවී තිබෙන බව පේනවා.

මේ විදියට ශත 25 බද්දට සීනි මෙට්‍රික් ටොන් 73000ක් ගෙන්වූවත් වෙළඳපොළේ සීනි මිල අඩු වුණේ නෑ. ආණ්ඩුව රුපියල් 85ක පාලන මිලක් ගැසට් කළාට වෙළඳපොළේ කිසිම තැනක රුපියල් 85ට සීනි තිබුණේ නෑ. හැම තැනම සීනි තිබුණේ රුපියල් 125-130ට.

සතොස ආයතනය රුපියල් 110 සිට 120 දක්වා මිල ගණන්වලට සීනි මිලට ගෙන රුපියල් 85ට පාරිභෝගිකයන්ට දුන්නා. මේ හරහා සතොස ආයතනය විශාල පාඩුවක් සිදුකරගත්තා. අනෙක් අතින් සතොස සීනි මිල දී ගැනීම සහ වෙළෙඳපොළේ වැඩි මිලට සීනි අලෙවි වීම හරහා මේ සීනි ගෙන්වූ සමාගම ලබා ගෙන තියන ලාභය ඉතා විශාලයි.

මේ වන විට ලංකාවට එමින් තිබෙන සීනි තොගයත් සමග සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ මේ කෙටි කාල සීමාව තුළ ලංකාවට ගෙන්වා තිබෙනවා. ඉතිහාසයේ කවදාකවත් ඒ තරම් විශාල සීනි ප්‍රමාණයක් මේ තරම් කෙටි කාලයක දී ගෙන්වලා නෑ.

මේ හරහා සෘජුව සහ වක්‍රව රජයට අහිමි වෙලා තියන ආදායම රුපියල් බිලියන 11ක් පමණ වන බව ගණනය කරන්න පුළුවන්.

WhatsApp Image 2021 02 01 at 10.43.44 PM

මේ සීනි ආනයනය කළ විල්මා සමාගම අයිති සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන සජාඩ් මවුසූන් මහත්මයට. එතකොට ඔහු සහ සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා අතර තිබුණු සම්බන්ධය මොකද්ද කියලා හොයන්න වුණේ. සතොස ආයතනයට වැඩිමිලට සීනි අරන් අඩු මිලට අලෙවි කළේ මොන පදනම මත ද කියලා හොයලා බලන්න ඕනෙ. මේ විදියට කෙටි කලක් විශාල වශයෙන් සීනි ආනයනය කළේ ඇයි කියලා හොයලා බලන්න ඕනෙ. මේ වගකීමෙන් පැනලා යන්න ආණ්ඩුවට බෑ.

ඒ නිසයි අපි ඒ ගැන අල්ලස් කොමිසමට අද පැමිණිලි කළේ. ඒ වගේ ම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ ගැන ජනාධිපති කොමිසමකුත් පත් කරන්න කියලා. මේ හරහා සිදුවුණු පාඩුව බැඳුම්කරෙන් සිදුවුණු පාඩුවට සමානයි. අඩුම ගාණේ සිරිසේන ජනාධිපතිතුමාට පුළුවන්කම තිබ්බා යහපාලන ආණ්ඩුව යටතේ සිදුවුණු බැඳුම්කර වංචාව ගැන හොයන්න කොමිසමක් හරි දාන්න. ඒ නිසයි අපි කියන්නේ මේ සීනි ගනුදෙනුව ගැනත් ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි කියලා," යැයි ඔහු පැවසීය.