Language Switcher

V2025

බොරු කී චමල් එපා : ගොවි විරෝධය මාරාන්තික උපවාසයකට !

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ගොවි ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත් වීම නිසා හෙට (23) දහවල් 12.00 සිට යළි මාරාන්තික උපවාසය ආරම්භ කරන බවත් මින් මතුවට කිසිදු ඇමතිවරයෙකුගේ කතාවන්ට තමන් නොරැවටෙන බවත් සූරියවැව වල්සපුගල ගොවියෝ අවධාරණය කරති.

වන අලි ගැටලුවට විසඳුම් ලබාදී හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය මසක් තුළ ගැසට් කරන බවට අමාත්‍ය චමල් රාජපක්ෂ ලබා දුන් පොරොන්දුව මෙතෙක් ඉටු නොකිරීම නිසා ගොවි සංවිධාන නියෝජිතයන්, ප්‍රදේශයේ මහා සංඝරත්නය එක්ව හෙට දැවැන්ත සත්‍යග්‍රහයක් හා මාරාන්තික උපවාසයක් සූරියවැව වල්සපුගලදී ආරම්භ කරන බව වළව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් සමන් සුදර්ශන මහතා ඊයේ (21) පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම්වරයා, “හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර වන සතුන් සඳහා යෝජිත වන ප්‍රදේශය වන සතුන්ට ලබා දෙන ලෙස ඉල්ලා 2021.01.18 දින සිට වලව ගොවීන් සත්‍යග්‍රහයක් හා මාරාන්තික උපවාසයක් සූරියවැව වල්සපුගල වම් තාවුල්ලේ ආරම්භ කළා. මේ ස්ථානයට ආණ්ඩුව නියෝජනය කරමින් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ මසක් තුළ අදාළ ගැටලුවට විසඳුම් ලබාදෙන බවත් එතෙක් මාරාන්තික උපවාසය නතර කරන ලෙසත් ගොවීන්ගෙන් ඉල්ලුවා.

ඒ අනුව ගොවීන් අමාත්‍යවරයාගේ වචනය පිළිගෙන මාරාන්තික උපවාසය නතර කර අඛණ්ඩ සත්‍යග්‍රහය පමණක් පවත්වාගෙන ගියා. අමාත්‍යවරයා පසුගිය 23 වන දින විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණ මෙම පොරොන්දුව ලබාදුන්නේ, එම පොරොන්දුව ලබාදී මේ මස 23 වන දින දහවල් 12.00 වනවිට මාසයක කාලය ඉවරයි. ඒ අනුව අමාත්‍යවරයා කඩකළ පොරොන්දුවට එරෙහිව වළව ඒකාබද්ධ ගොවි සංවිධානය හා එක්ව සිටින ගොවි සංවිධාන 86ක නියෝජිතයන් හා ලුණුගම්වෙහෙර, බදගිරිය, මවුආර යන ගොවි ව්‍යාපාරවල ගොවි සංවිධාන නියෝජිතයන් මෙන්ම තිස්සමහාරාම ආසනයේ සුළු වාරි ගොවි සංවිධාන නියෝජිතයින් හා ප්‍රදේශයේ මහා සංඝරත්නය එක්ව 23 වන දහවල් 12.00න් පසු යළි මාරාන්තික උපවාසයක් ආරම්භ කරනවා.මෙවර අපි ආරම්භ කරන සත්‍යග්‍රහය හා මාරාන්තික උපවාසය කිසිලෙසකින්වත් නවත්වන්නේ නැහැ. අපේ පොරොන්දු ඉටුකරන තෙක්, ප්‍රදේශය භාර අමාත්‍යවරයා ලෙසත් හා ආණ්ඩුව නියෝජනය කළ ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙසත් චමල් රාජපක්ෂ මහතා දුන් පොරොන්දුව අපි පිළිගෙනයි. මාරාන්තික උපවාසය අත්හලේ.

නමුත් චමල් රාජප්කෂ අමාත්‍යවරයාත් ගොවීන් නොමග යවා තියෙනවා. ඒ නිසා යළි අපි ගොවීන් ලෙස කිසිදු අමාත්‍යවරයෙකුගේ වචන විශ්වාස කරන්න සූදානම් නැහැ. විසඳුමක් අරගෙන මිසක් මේ සටන නවත්වන්නේත් නැහැ“ යැයි පැවසීය.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා සූරියවැව වල්සපුගල වැව් ඉස්මත්තේ ගොවීන් පිරිසක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට සහාය පළ කරමින් සමාජවාදී තරුණ සංගමය සූරියවැව නගර මධ්‍යයේ පෙරේදා (20) පෙරවරුවේ විරෝධතාවකද නිරත විය.Lanka truth