අපරාධ චෝදනා සමග සිරිසේනට සොරි වෙයි : රනිල් නිදහස්

අපරාධ චෝදනා සමග සිරිසේනට සොරි වෙයි : රනිල් නිදහස්

පාස්කු ප්‍රහාරයට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති විමර්ෂණ වාර්තාව ඊයේ (23) දිනයේදී පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දෙනු ලැබිණ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ උපදෙස් මතයි.ජනාධිපති කොමිෂන් සභාවට ලද සාක්ෂි පදනම් කර ගනිමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස  නිර්දේශ කර ඇත.

මෙරට කොමිෂන් සභාවක් විසින් හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කළ පලමු අවස්ථාව මෙය වනවා. මිට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජෙය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් සහ බස්නාහිර පළාත භාරව සිටි  හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ  යන අයටද එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස ජනාධිපති කොමිෂන් සභාව විසින් සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.

මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් යම් ගැටළු තිබෙන බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව කරුණු හඳුනා ගෙන ඇති වුවත් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අනවශ්‍ය බවට නිර්දේශ කර තිබෙයි.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 02ක මුදලක් හා තුවාල ලැබූ අයෙකුට රුපියල් ලක්ෂ 05ක් ලබා දිමට ජනාධිපති කොමිසමෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයේදී මරණ සංඛ්‍යාව අවම කරවීම සඳහා නිර්භීතව කටයුතු කළ අභාවප්ප්‍රාප්ත රමේෂ් රාජු ගේ සමීප ඥාතියාට රජය විසින් ත්‍යාග මුදලක් ගෙවිය යුතු බවට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ෂණ කළ ජනාධිපති විමර්ෂණ කොමිසම විසින් නිර්දේශ කර ඇත.

මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරීම, වනාතවිල්ලුවේ වළදමා තිබු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සහ ඊට සම්බන්ධ සැකකරුවන් ගැන තොරතුරු ලබාදීම නිසා 2019 මැයි මස 09 වෙනිදා මාවනැල්ල ප්‍රදේශයේ සිය නිවසේ නිදා සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින් යන අයගේ ආරක්ෂාව සැපයීමට සහ ඔහුගේ වැඩිදුර ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට යාමට අවශ්‍ය බැවින් ඊට අදාළ ප්‍රතිපාදනයන් රජය විසින් දැරීමට ද මෙම කොමිසම මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට, ඔවුන්ගේ ආරක්‍ෂිත නිවාස සොයා ගැනීම් වැනි කටයුතුවල නිරතවු ආරක්ෂක අංශ නිලධාරීන්ට ත්‍යාග ලබාදීමට ද නිර්දේශ ඉදිරිපත් කර ඇත. මේ අතර මෙරට ක්‍රියාත්මක බොදු බල සේනා සංවිධානය ද ද තහනම් කරන ලෙසට මෙහිදී කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ. ඊට අමතරව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකි ද යන්න සොයා බලන ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇත. ඒ, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR) පදනම් කර ගනිමිනි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2013 වසරේ පෙබරවාරි මස 17 වන දා මහරගමදී කළ ප්‍රකාශයක් සහ 2014 වසරේදී අලුත්ගමදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා මෙලෙස නිර්දේශ කර තිබේ. 2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම වසරේ සැප්තැම්බර් මස 21 වනදා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබිණ.

ශ්‍රීලනිපය  අද රැස්වෙයි !

මේ අතර පාස්කු ප‍්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න සොයා බැලීමට හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන  ජනාධිපති කොමිසමක් පත් කළද එම කොමිසමේ කාර්යයභාරය පසුව වෙනස් වී ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසයි.
 
අද (24) පස්වරුවේ පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පාස්කු කොමිසම ඉදිරිපත් කළ නිර්දේශ සම්බන්ධයෙන්  සාකච්ජා  කරන බව පක්‍ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර නෙත් නිවුස් වෙත පවසා ඇත.
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න