Language Switcher

V2025

හෝදන්න හෝදන්න තව රස වෙන : බිලියන 15.9 සීනි බදු වංචාව !

මේ වන විට රාජ්‍ය  ආදායමට රුපියල් බිලියන 15.9 ක් පාඩු වන අයුරින් ආනයනික සීනි සඳහා වන බදු සංශෝධනය කළ බවට ආණ්ඩුවට චෝදනා එල්ල වී ඇත. ආණ්ඩුව එම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර, පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අදාළ චෝදනාව පාරිභෝගිකයන්ට අපේක්ෂිත ලාභය නොලැබීමක් ලෙස විග්‍රහ කරමින් සිටී.
 
නමුත් සමාජ මාධ්‍ය ඇතුළු විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් මෙන්ම බොහෝ දෙනකු පවසන්නේ කුප්‍රකට සීනි බදු අඩු කිරීම තුළ වංචාවක් සිදුව ඇති බවයි. එය ලංකා ඉතිහාසයේ වැඩිම බදු වංචාව ලෙස නැතිනම් මහ බැංකු බැඳුම්කර පාඩුව පවා අතික්‍රමණය කළ මහා පරිමාණ රාජ්‍ය භාණ්ඩාගාර කොල්ලයක් ලෙස හඳුන්වමින් සිටී.
 
මේ අවධානය ඒ ගැනය. මුලින්ම වැදගත් මේ සිදුවීමේ අප මෙතෙක් දැනසිටි කතාව සිහිපත් කර ගැනීමය.
 
 2020 මැයි 23 වනදා  එතෙක් ආනයනික සීනි කිලෝවක් සඳහා තිබූ රුපියල් 33 ක බද්ද රුපියල් 50 ක් දක්වා වැඩි කිරීමට පොදුජන පෙරමුණ ආණ්ඩුව කටයුතු කරනු ලැබිණ.
 
එහිදී ආණ්ඩුවේ  අපේක්ෂාව ලෙස සඳහන් වූයේ ,
 
* සීනි විශාල වශයෙන් නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා භාවිතා කිරීම හේතුවෙන් එය වලක්වා ගැනීම 
 
* දේශීය  කෘෂිකර්මාන්තය දියුණු කිරීම 
 
* රට මුහුණ දී සිටී විදෙස් සංචිත අර්බුදය හේතුවෙන් ආනයන වියදම පාලනය කරගැනීම. යන කරුණු ය.
 
ඒ අනුව ආණ්ඩුව මූලික වශයෙන් ආනයන සීමා කිරීම කෙරෙහි අවධානය යොමු කළේය. ඒ වෙනුවෙන් ගනු ලැබූ පියවර අතර ,
 
ඇතැම් භාණ්ඩ සඳහා ආනයන  තහනමක් පැණවින. තවත් භාණ්ඩ සඳහා ආනයන බද්ද වැඩි කෙරිණ. එමෙන්ම තවත් භාණ්ඩ ප්‍රමාණයකට බලපත්‍ර මත ආනයනික  අවස්ථා ලබාදීමට තීන්දු කෙරිණ.
 
 මේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් පාරිභෝගිකයන් සඳහා සහන සැලසීමට කියා ආණ්ඩුව 2020 ඔක්තෝබර් 13 වනදා  2197/12 ගැසට් නිවේදනයක්  නිකුත් කළ අතර ඒ හරහා විශේෂ භාණ්ඩ සඳහා වූ බදු සංශෝධනය කෙරිණ.
 
සීනි ලාභයි : කිලෝව රුපියල් 85 යි !
ඒ අනූව ආනයනික සීනි කිලෝවක් සඳහා වූ රුපියල් 50.00 බද්ද , ශත 25 ක් දක්වා අඩු කරන ලදී. එනම් රුපියල් 49.75 ක බදු අඩු කිරීමක් සිදුකරන ලදී. ඒ සමග නිකුත්කළ ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන් වූයේ මේ සමග රුපියල් 85.00 කට සීනි කිලෝවක් මිලදී ගැනීමේ අවස්ථාව ඇති බවය.
 
නමුත් පැහැදිළි ප්‍රශ්නයක් විය. ඒ, ඒ වන විටත් කිලෝවක් සඳහා රුපියල් 50.00 බද්දට සීනි ආනයනය කළ මෙට්‍රික් ටොන් 90000කට ආසන්න ප්‍රමාණයක් පැවතීමය. මේ සම්බන්ධව සාකච්ඡාවක් 2020 ඔක්තෝබර් 27 හෝ ඊට ආසන්න දිනයකදී පවත්වා ඇත. ඊට ජනාධිපති මෙන්ම එවකට සතොස සභාපති නුෂාඩ් පෙරේරා, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආටිගල, සීනි ආනයනකරුවන් සහභාගීව ඇත. එහෙදී ආනයනකරුවන් තමන් රුපියල් 50 ක බද්ද ගෙවීම හේතුවෙන් රුපියල් 85ට සීනි නිකුත් කිරීමට ඇති නොහැකියාව පෙන්වාදී ඇත. ඒ අනුව එහිදී ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 40 ක බද්දක් පැණවීමට තීරණය කර ඇත. එහෙත් එහිදී වෙළඳ අමාත්‍යංශය පෙන්වාදී ඇත්තේ බද්දක් සංශෝධනය කිරීමෙන් පසුව මාසයක් යන තුරු එය නැවත සංශෝධනය කල නොහැකි බවයි.
 
ඒ අනුව ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 40 ක බද්දක් පනවනවා නම් ඒ සඳහා නොවැම්බර් 13 වනදා තෙක් සිටිය යුතු විය. ඒ සමඟ ආනයන අපනයන පාලක විසින් ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 22 දක්වා ශත 25 බද්ද යටතේ වන සීනි වරායෙන් නිදහස් නොකිරීමටත් නියෝග පනවනු ලැබිණ. එහෙත් නොවැම්බර් 13 සිට ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 40.00 බද්ද ක්‍රියාත්මක වුයේ නැත.
වියත්මග නුෂාඩ්ගේ සීනි වෙළඳාම !
මේ අතර කාලයේදී සිදුවූ විශේෂ දෙයක් වන්නේ සතොස සභාපති නුෂාඩ් පෙරේරා වැඩි මිලට පෞද්ගලික වෙළෙන්දන්ගෙන් ලබාගත් සීනි තොග රුපියල් 85.00 ට විකිණීමෙන් බරපතළ පාඩුවක් සතොසට සිදුකිරීමය. සීනි සඳහා රුපියල් 50ක් ව තිබුණු බද්ද  ඔක්තෝබර් 13 සිට සිට ශත 25ක් දක්වා අඩුකර තිබියදී, ඔක්තෝබර් 13, ඔක්තෝබර් 20, ඔක්තෝබර් 22 යන දින හෝ ඊට ආසන්න දින වල රුපියල් 127.49, රුපියල් 121.50 සහ රුපියල් 110 හෝ ඊට ආසන්න මිල ගණන් වලට නුෂාඩ් සතොසට සීනි ගෙන තිබිණ. පසුව නුෂාඩ්ට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබාදීමට ජනාධිපති කටයුතු කරනු ලැබිණ.
 
සීනි චෝදනාවෙන් මහින්දව ගලවපු  : මුදල් අමාත්‍යංශ වාර්තාව !
ඔක්තෝබර් 13 වනදාට පසුව ශත 25 බද්දට නිදහස් කරගත් සීනි තොග සහ ශත 25 බද්ද පැනවීමත් සමඟ මෙරටට ගෙන්වූ අතිවිශාල සීනි තොගය සමඟ එවකට ආණ්ඩුවට චෝදනා එල්ලවූයේ රුපියල් බිලියන 11 කට ආසන්න මුදලක් රාජ්‍ය ආදායමට පාඩු කර ඇති බව කියමින්ය. එහෙත් මුදල් අමාත්‍යාංශය විසින් 2020 ඔක්තෝබර් 14 සිට 2020 පෙබරවාරි 21 දින දක්වා කාලය තුළ සීනි ආනයනය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාව විසින්  ආණ්ඩුවේ සැකසහිත  ප්‍රතිපත්ති නිසා රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 15.9ක් බව පිළිගෙන ඇත.
ඒ වාර්තාව කියන ලෙසට 2020 ඔක්තෝබර් 13සිට සීනි ආනයනයේදී අයකර තිබු රුපියල් 50 ක විශේෂ බද්ද අඩු කිරීමට ප්‍රධාන සාධකය සේ දක්වන්නේ, කොවිඩ් 19 රටපුරා පැතිරීම නිසා ජනතාවගේ රැකිරක්ෂා අහිමිව , ආදායම් අඩුවීම, දිගින් දිගටම ඇඳිරි නීතිය පනවා තිබීම නිසා යන්නය. ඊට අනුව මේ සිතුවිල්ල ජනාධිපතිගේය. ජනාධිපති සිතා ඇත්තේ භාණ්ඩ 4ක මිල අඩුකර ජනතාවට සහනයක් දෙන්නය.; 
 
ඒ අනුව 2020 ඔක්තෝබර් 13 ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මුදල් අමාත්‍යංශ ලේකම් වෙත ලිපියක් යොමුකර භාණ්ඩ 4ක දැනට තිබෙන බද්ද ශත 25ට අඩුකර එදින රාත්‍රියේ සිට ක්‍රියාවට නංවන ලෙස නියෝගකර ඇත. එසේම මේ සම්බන්ධව අගමැතිගේ එකඟතාවය ලබාගෙන තීරුබදු ක්‍රියාත්මක කිරීම සම්බන්ධව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් දැනුවත් කරන්නටද දන්වා ඇත.
පීබී ජයසුන්දර විසින් මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගලට යැවූ ලිපිය.
WhatsApp Image 2021 03 13 at 9.58.10 AM
 
කෙසේ වුවත් පුදුමය වන්නේ මේ ලියුම මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂට හෝ වෙළඳ අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන ට පිටපත් නොකිරීමය. ලියුම පිටපත් කර ඇත්තේ අදාළ අමාත්‍යංශ වල ලේකම්වරුන්ට සහ බැසිල් රාජපක්ෂටත්,  සභාපති නුෂාඩ් පෙරේරාටත් ය. නමුත් මුදල් ඇමති ලෙස අගමැති මහින්ද මේ සඳහා වූ ගැසට් පත්‍රයට එනම් 2197/12 ට අත්සන් කර ඇත. 
මහින්දගේ නමින් නිකුත් වූ ගැසට් එක 
WhatsApp Image 2021 03 13 at 9.58.09 AM 2
මේ ආකාරයට එක රැයෙන් බද්ද සංශෝධනය කරන විට මෙරට සීනි ආනයනකරුවන් ගෙවූ සීනි තොග මෙට්‍රික් ටොන් 88000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත. එයින් මෙට්‍රික් ටොන් 80000ක් සඳහා රුපියල් 50 බද්ද ගෙවීමට සිදුවූ අතර, ඒ වන විට මෙට්‍රික් ටොන් 8000ක් තමන්ගේම බන්දිත ගුදමේ තිබූ සජාත් මවුසුන්ගේ  විල්මාර් පිරමීඩ් පමණක් ඔක්තෝබර් 13 වනදා ශත 25 බද්දට සිය සීනි සංචිත නිදහස් කරගෙන ඇත. (බන්දිත ගුදමක් ඇති එකම සීනි ආනයන සමාගම විල්මාර් පිරමිඩ් ය ) නමුත් මේ කොටස වාර්තාවේ නැත. මේ තුළ අනෙක් සමාගම් වෙත සිදුවූ පාඩුව රුපියල් බිලියන 4කට ආසන්නය. 
 
නිදර්ශනයක් ලෙස ගතහොත් විල්සන් ට්‍රේඩින් සමාගමේ මෙට්‍රික් ටොන් 28000ක් මෙරට තොග රැස්කර තිබිණ. ඔවුන්ට සිදුවුයේ රුපියල් 50 බද්දට යටත්ව සිය සීනි තොගය නිදහස් කර ගන්නටය. එබැවින් ඔවුන් රුපියල් 85 ට සීනි දීමේ යෝජනාවට එකඟවුයේ නැත. 
මේ ආකාරයට උද්ගතවූ ප්‍රශ්නය සම්බන්ධ ආනයනකරුවන් දිගින් දිගටම මුදල් අමාත්යංශය සහ වෙළඳ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කලත් කිසිම සහනයක් ලැබුණේ නැත. නොවැම්බර් 10 වනදා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීනි සඳහා උපරිම සිල්ලර මිලක්ද නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරයි. 
 
කටයුතු එසේ තිබෙන විට මුදල් අමාත්‍යංශය නිකුත්කළ වාර්තාවේ කියවෙන්නේ, බද්ද ශත 25ක් කර මාස 4ක් යන තැන මෙරටට මහා පරිමාණයෙන් සීනි ආනයනය කර ඇති බවය. එහෙත් මෙතරම් ප්‍රමාණයක් ආනයනය කිරීමට කටයුතු කර ඇත්තේ මොකටද ? විශේෂයෙන් විදේශ විනිමය සම්බන්ධ බරපතළ තැනක රටේ ආර්ථිකය තිබෙන විට. එය එදත් අදත් ආණ්ඩුව උත්තර නොදෙන ප්‍රශ්නයක්ව ඇත.
 
ගැසට් ගැහුවා විතරයි : සීනි මිල වෙනසක් නෑ !
අප නැවතත් මුදල් අමාත්‍යාංශය නිකුත්කළ වාර්තාවට අවධානය යොමුකළහොත් ඊට අනුව බදු අඩු කිරීම හේතුවෙන් වෙළඳපොළේ සීනි කිලෝව රුපියල් 119ක් දක්වා අඩුව ඇත. එහෙත් එතැන පාරිභෝගික අධිකාරිය නිකුත්කළ ගැසට් පත්‍රය මුළුමනින්ම උල්ලංඝනය කර ඇත. ආණ්ඩුවට වගේ වගක් නැත. ජනාධිපති කිව්වේ ආදායම් අඩුවෙලා නිසා මිල සහනයක් දීමට බදු අඩු කරන්න කියා වුවත් එවැන්නක් සිදුනොවීම සම්බන්ධව  කිසිඳු ආකාරයක අවධානයකට ලක්නොවුයේ කොහොමද ? 
 
කෙසේවුවත් වාර්තාවේ දිගින් දිගටම පෙන්වන්නේ මේ බදු අඩුකිරීම ජනාධිපතිගේ නිර්දේශය මත සිදුකල දෙයක් බවය. සීනි බදු වංචාව සම්බන්ධව පළමුව අගමැති මහින්දට එල්ලවූ චෝදනාව මේ වන විට ජනාධිපතිට එල්ලවී ඇත්තේ ඒ අනුව වෙන්නත් පුළුවන. එපමණක් නොව මෙසේ බදු අඩු කිරීම සම්බන්ධව තීන්දුවට ජීවන වියදම් කමිටුව හෝ කැබිනට් මණ්ඩලයත් සම්බන්ධව නැත. එපමණක් නොව බද්ද අඩු කල පසුව ඒ නොතකා වැඩි මිලට සීනි ගත්ත සතොස සභාපති  නුෂාඩ්  ගෙදර වෙනුවට ගියේ ජනාධිපති යටතේ වන ප්‍රමිති ආයතනයටය. 
 
සීනි බද්දේ වාසිය ගැන දැන් මොන සුරංගනා කතා කියා පළකළත් එහි වාසිය ගියේ සජාත් මවුසුන්ගේ  විල්මාර් පිරමීඩ් සමාගමටය. මෙරට සීනි ආනයන වෙළඳපොල තුළ කුඩා කොටසක හිටපු එම සමාගම සීනි ආනයනයේ වෙළඳපොල ඒකාධිකාරය අත්පත් කරගත්තේ මේ ශත 25 බද්ද සමගය.
 
සජබ සමහරු සජාත්ට බයද ? 
thumbnail 2021 01 22T085447.910 640x437
බදු අඩු කර අදට මාස 5ක් ගතවී ඇත. අදටත් රුපියල් 85ට වෙළඳපොළ තුළ සීනි මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට නැත. දැන හෝ නොදැනුවත්ව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආටිගල පාර්ලිමේන්තුවට දුන්න වාර්තාවෙන්  ආණ්ඩුවේ සළුපට වාෂ්ප වෙලා ඇත. සජාත් මවුසුන් සහ ශන්ග්රිලා හෝටලය අතර ඇති සම්බන්ධය සේම පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සජබ තුළත් සජාත්ගේ මිතුරන් ඕනෑතරම් ය. ඒ නිසා මේ ප්‍රශ්නය හැකිතාක් සැන්ඩි වෙමින් පවතී. ඇතැමුන් මහා ලොකුවට ආර්ථිකය ගැන කතා කළත් සජාත්ගේ නම නොකියන්නේ මාර පරිස්සමින්ය. 
 
මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන පරිදි, මෙම කාලසීමාවේදී සීනි ආනයනය කර තිබෙන සීනි වල සාමාන්‍ය මිල, ආනයන බද්ද සමඟ රුපියල් 84.50කි. සමාගම් වෙළඳපොලේ සීනි විකුණුවේ රුපියල්  118.13 ක පමණ සාමාන්‍ය මිලකටය. ඒ අනුව නම් තොග වෙළඳාම තුළ ඇදහිය නොහැකි අධිකම ලාභයක් එනම්  රු. 44කට වැඩි ලාභයක් ඔවුන් ලබා ඇත.
 
මෙහිදී වහාම ක්‍රියාත්මක වී සීනි ඇණවුම් කර ඇත්තේ, නැව් පිටින් මෙරටට හරවා ගෙනවිත් ඇත්තේ විල්මා පිරමීඩ් ය.  නොවැම්බර් 2දා මෙට්‍රික් ටොන් 26,000ක් ,නොවැම්බර් 25දා මෙට්‍රික් ටොන් 37,000ක් වශයෙන්  2020 ඔක්තෝබර් 14 සිට 2020 පෙබරවාරි 21 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි ප්‍රමාණයෙන් 39%ක් ම ආනයනය කර තිබෙන්නේ මෙම සමාගමයි. 
 
සීනි ආනයනය කර ඇති ආකාරයට අදාළ මුදල් අමාත්‍යංශ වාර්තාවේ වගුව  
WhatsApp Image 2021 03 13 at 9.58.10 AM 1
එහෙව් පසුබිමක දැන් පාර්ලිමේන්තුවට එවන්න වාර්තාව හදපු මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල ජනතාව නොමග යවන ප්‍රකාශ නිකුත් කරයි. ඒ මෙසේ කියමින්ය.
ආටිගල මොනවද මේ කියවන්නේ ?
 
image abae915e7f“අපි මේ සත 25 තවම වෙනස් කරලා නැහැ. සීනි 135 ට තිබුණු එක අද 115 ට අඩුවෙලා තියෙනවා. CIF වටිනාකම රු. 72 සිට අද වෙන කොට රු. 90 දක්වා වැඩිවෙලා. මේක අඩු කළේ නැත්තන් සීනි 135 නෙමෙයි 175 විතර තියෙන්නේ. අද 115යි. ඒ ප්‍රතිලාභය ක්‍රමානුකූලව මහජනතාවට ඇවිල්ලා තියෙනවා.

“එදා ඔක්තෝබර් 13 වෙනිදා සීනි රු. 50 සිට සත 25ට කිලෝ එකට අඩුකළා. ඊට අමතරව ළූණු, පරිප්පු, සැමන් වැනි තවත් භාණ්ඩ කිහිපයක අඩු කළා. පත්තරවල තියෙනවා, මුදල් අමාත්‍යාංශ්‍ය කිව්වා කියලා, බිලියන 15.9 ක් සීනිවලින් ආදායම අහිමි වීමක් කියලා. අපි එහෙම කිව්වේ නැහැ. එහෙම අපිට කියන්න බැහැ. එහෙම loss එකක් නැහැ. Public Finance Commission එක අපෙන් ඉල්ලුවා පෙබරවාරි මාසයේ 10 වෙනිදා දක්වා ආනයන කළ සීනි ප්‍රමාණය. එතකොට ඔක්තෝබර් 13 සිට පෙබරවාරි 10 දක්වා ආනයන කළ සීනි ප්‍රමාණය යම්කිසි ගණනක් තියෙනවා. ඒකට රු. 50 සිට සත 25 ට අඩුවුණු නිසා රු. 49.75 ක් එක කිලෝ එකකට අපිට ආදායම ලැබෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ, ඒක ආදායම් අහිමි වීමක් කියලා. ඒක තමයි ප්‍රතිපත්තිය.“

ආටිගල නොකියන ටික !

නමුත් ආටිගල නොකියන කතාව මේ සීනි මාසයක් ගානේ ආනයනය නොකළ බවය. මෙරට සීනි ආනයන බද්ද ශත 25ක් දක්වා අඩු කලේ ඉන්දියාවේ සීනි අපනයනය වෙනුවෙන් සහන දෙන අවස්ථාවේය. ඒ අනුව සීනි ටොන් එකක් සඳහා අද ඩොලර් 90 ක සහනයක් ඇත්නම් විල්මා පිරමිඩ් පසුගිය මාස කිහිපය තුළ මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක් සීනි ගෙනාවේ ඉන්දියාවෙන් එවකට ලැබුණු සීනි ටොන් එකක් සඳහා ඩොලර් 140ක පමණ ඉන්දීය  අපනයන වට්ටම යටතේය. එබැවින් තවදුරටත් බදු අඩු කිරීම ජනතාවට සහන දෙන්න ප්‍රතිපත්තියක් කියමින් විකාර කියා තේරුමක් නැත. මේ බදු අඩුකිරීම පැහැදිළිවම තෝරාගත් සමාගමකට ක්ෂණිකව අතිවිශාල ලාභයක් ලැබීමට අවස්ථාව හිමිකරදීමකි. 

සීනි ආනයන බද්ද සගත 25 කළේ රුපියල් 85 ට සීනි දෙන්න නම් එහෙම වෙළඳපොළේ නැත්නම් බදු අඩු කිරීමේ ප්‍රතිපත්තිය සේවය කර ඇත්තේ කාටද කියන සරල දැනුම ජනතාවගෙන් වහන්න මුදල් අමාත්‍යංශ ලේකම් ගන්නා අසාර්ථක උත්සාහයට වැඩි දෙයක් එතන නැත. 

එහෙත් ධෛර්යයක් ඇතිව  පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මේ වංචාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. ඒ ගිහින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලෙකම් එස්.ආර්. ආටිගල, පිරමිඩ් විල්මා ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ සජාස් මවුසූන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ නීතිපතිවරයා ඇතුළු 9 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.