ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනයට අදාළ සීමා සංශෝධනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබුණත් ඒ තුළ පාරිභෝගිකයන්ට අත්වන දැඩි පීඩාවට සහනයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ආනයන සීමා ලිහිල් කළද ටයිල් සහ සනීපාරක්ෂක උපාංග සඳහා වර්ග අඩියක් වෙනුවෙන් පනවා තිබූ බද්ද පස් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ දැමීමේ සුදානමයි. ඒ අනුව ආනයන සීමා පැනවීමට පෙර වර්ග අඩියක් සඳහා රුපියල් 100.00 ලෙස පැවති බද්ද නව සංශෝධිත බද්ද තුළ වර්ග අඩියක් සඳහා රුපියල් 480.00ක් දක්වා ඉහළ යනු ඇත.
එසේම සෙරමික් නිෂ්පාදන දින 180ක ණය පදනම මත ආනයනය කිරීමට අවස්ථාව හිමිවන නමුත් එතරම් කාලයක් සඳහා සැපයුම්කරුවන් එකඟතාව පළකරයිද යන්නත් සැකසහිත බව ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමයේ අදහස වී ඇත.
ඔවුන් මේ අදහස් දක්වා සිටියේ ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින්ය.
සෙරමික් නිෂ්පාදන ආනයනයේදී දින 180 ක ණය පදනම ආණ්ඩුව යෝජනා කර ඇත්තේ මෙරට විදෙස් සංචිත අර්බුදය හේතුවෙන් බවත් එසේම ආනයන අධෛර්යමත් කිරීමක් ද ඒ තුළ සිදුව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
ටයිල් තහනම නිසා ඇතිවූ අර්බුද සුළුපටු නෑ !
මේ අතර එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන් සංගමයක් ලෙස ආණ්ඩුවේ මේ නව සංශෝධිත සීමා සඳහා එකඟත්වය පළකර සිටියේ පාරිභෝගිකයන් මෙන්ම සෘජු සහ වක්‍ර ලෙස මෙම කර්මාන්තයේ නිරතවූවන් වෙනුවෙන් බවය. සෙරමික් නිෂ්පාදන ආනයනය තාවකාලිකව තහනමට ලක්කිරීම හේතුවෙන් කාර්මාන්තයේ නිරත වූවන් පසුගිය සමයේ දැඩි අර්බුදයකට ලක්වූ බවත් ආනයනකරුවන් පමණක් නොව වෙළෙන්දාගේ සිට ගබඩා පිරිසිදුකරන්නා දක්වා රැසක් මේ අර්බුදයෙන් දැඩිව පීඩාවට මුහුණදුන් බවත් ඔවුන් පවසයි.
බිලියන 12ක බදු ආදායමක් රජයට දුන්නා !
නමුත් සාමාජිකයන් 300ක් පමණ සිටින තම සංගමය ඇතුළත් සෙරමික් නිෂ්පාදන ආනයනකරුවන් වාර්ෂිකව රජයට රුපියල් බිලියන 12කට ආසන්න බදු මුදල් දායකත්වයක් දේශීය ආර්ථිකයට එක්කළ බවත් වසර 30ක පමණ කාලයක් තිස්සේ ලක්ෂයකට පමණ රැකියා අවස්ථා ලබාදී තිබු බවත් ඔවුන් පවසයි.
එමෙන්ම තම කර්මාන්තය හරහා සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 2000ක් පමණ බිහිවී ඇති බවත් එබැවින් එය කිසිසේත් අවතක්සේරු නොකළ යුතු බව ඔවුන්ගේ අදහසය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ පවතින සීමා තුළ කටයුතු කිරීම දුෂ්කර බැවින් පිරිසක් දේශීය නිෂ්පාදනය වෙතත් තවත් පිරිසක් කර්මාන්තයෙන් ඉවත්වීමත් සිදුවිය හැකි බවයි. එසේම දේශීය වෙළඳපොළ තුළ ඇති ඉල්ලුමට දේශීය ටයිල් නිෂ්පාදන ලබාදීමට හැකියාව ඇත්තේ 40%- 45% ප්‍රමාණයක් බවත් එම නිෂ්පාදන කටයුතු සඳහා යන වියදමෙන් 50%ක පමණ ප්‍රමාණයක් බල ශක්තිය සහ අමුද්‍රව්‍ය ලෙස ආනයනය කිරීමට සිදුවන බවද ඔවුන් පවසයි.


චීනයේ ටයිල් නිෂ්පාදනය කරන නගර ආශ්‍රිත මිනිස්සු නිල් අහස දකින්නේ වෙනත් ප්‍රදේශවලදී !
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙසේද පැවසීය.
" ආනයනය කරන ටයිල් සහ සෙරමික් ආශ්‍රිත නිෂ්පාදන මුළුමනින්ම නිෂ්පාදනය කරන්න යාමේදී ප්‍රධාන ගැටළුවක් ලෙස එන්නේ අනිවාර්යයෙන් සිදුවන පරිසර හානිය. වෙනත් නිෂ්පාදනයක් වගේ නෙවෙයි, ටයිල් නිෂ්පාදනයේදී මේ දේ නිතර දහනයට ලක්කරන්න වෙනවා. දවසේ පැය 24 ම වසරේ දින 365 ම පුච්චන වැඩක් තියෙන්නේ. ඔබලා දැකලා ඇති මේ නිෂ්පාදනාගාර ආශ්‍රිතව දහනය තුළ නිකුත් වන දුමාරය. ඒ දැනට තියන ප්‍රමාණය කොපමණ ප්‍රමාණයකින් වැඩිවෙයිද කියලා හිතා ගන්න පුළුවන් නේද ? ටිකක් හොයලා බලන්න ඉන්දියාවේ සහ චීනයේ මේ ටයිල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා ඇති ප්‍රදේශ වල වායුගෝලයට සිදුව ඇති විනාශය. චීනයේ ඒ නගර වල මිනිස්සු නිල් අහස දැකගන්නේ වෙනත් ප්‍රදේශ වලට ගිහින්. මොකද නිල් අහස වැහිලා තියෙන්නේ. අපේ වගේ පොඩි රටක සිදුවිය හැකි දේ එහෙනම් තේරුම් ගන්න පුළුවන් නේද ?
පරිසර විනාශය සුළුපටු නෑ !
ඒ වගේම තමයි, මේ නිෂ්පාදන අමුද්‍රව්‍ය ගන්න තියෙන්නේ කුඹුරු හරහා. නැතිනම් දකුණේ අකුරැස්ස වගේ ප්‍රදේශ වල තේ ඉඩම් යට හාරලා තමයි අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න වෙන්නේ. අපි හෑරුවොත් පුරන් කුඹුරු වුණත් කොච්චරක් හාරන්නද ? තේ ඉඩම් වගේ භුමියේ කැණීම් කරාට පස්සේ ඒ ඉඩම් වලට මොකද වෙන්නේ? ආනයනය සීමා කිරීමෙන් ලබන වාසියට වඩා කොච්චර විශාල හානියක් නිෂ්පාදනයට ගිහින් සිදුකර ගන්නවද ? මේවා හිතන්න ඕන. ටයිල් ආනයනය නවත්තලා, ටයිල් නිෂ්පාදනය කරගෙන හාල් ආනයනය කරන්න වෙයිද ? ඒ වගේම පරිසර විනාශය.
නිෂ්පාදනය ප්‍රමාණවත් ලෙස සිදුනොවුනොත් මිල ඉහළ යනවා. ඉතා ඉහළ මිලක් යටතේ තමයි නිවසේ සිට අනෙක් ඉදිකිරීම් දක්වා අවශ්‍ය ටයිල් ඇතුළු උපාංග මිලදී ගන්න වෙන්නේ. මේ තුල වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ පොදුජනතාව. ඒ නිසා අපි ලංකාවේ ආර්ථික සුබසිද්ධිය වෙනුවෙන් ගනුලබන ක්‍රියාමාර්ග වලට සහය දෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ලබාදී ඇති අවස්ථාව තුළ උපරිම සහන මිලකට ටයිල් සහ සනීපාරක්ෂක උපාංග අලෙවියට කටයුතු කරනවා. ඒ වගේම අපේ පැත්තෙන් කියන කරුණු කෙරෙහිත් අවධානය යොමුකරයි කියලා හිතනවා."

