ඉස්කෝලෙට කඩාවැදුණු දේශපාලකයන් ගැන විදුහල්පතිනියකගෙන් පැමිණිල්ලක්!

ඉස්කෝලෙට කඩාවැදුණු දේශපාලකයන් ගැන විදුහල්පතිනියකගෙන් පැමිණිල්ලක්!

ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු සහ දේශපාලනඥයකු රාජ්‍ය දේපලවලට හානි කරමින් අගනගරය සමීපයේ පාසලකට බලහත්කාරයෙන්  ඇතුලුවී ඇති බව දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් විසින් හෙළි කර තිබේ.

එසේම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා තමන් විසින් අවධානය යොමු කළ යුතු පළාත් සභා පාසලේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාව අහිමි කරමින් ජාතික පාසලක දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම කනගාටුදායක තත්වයක් බවයි  ලංකා ගුරු සංගමය පවසන්නේ.

බප/ජය/ ශ්‍රී  විජයාරාම විද්‍යාලය නුගේගොඩ හයිලෙවල් පාර ආසන්නයේ පවතින මේ වන විට ළමුන් 71 ක් පමණ ඉගෙනුම ලබන අක්කර හතර හමාරක  භූමියකින් යුතු රජයේ පාසලකි.

මෙම පාසලට පසුගිය දිනෙක මදුර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා  සමග ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු පිරිසක් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් ඇතුළු වී තිබු අතර එම අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් අදාළ විදුහලේ විදුහල්පතිනිය විසින් පොලීසියට පැමිණිල්ලක් ද කර ඇති බව ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින්  පෙන්වා දෙයි.

මේ අතර අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා  විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත 2021 මාර්තු 16 දිනැතිව යොමු කරන ලද ලිපියකින්  බප/ජය/ශ්‍රී  විජයාරාම විද්‍යාලය ජාතික පාසලක් වන දේවිබාලිකා විද්‍යාලයට අනුයුක්ත කිරීමට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

"ඊට හේතුව ලෙස අදාළ ලිපියේ සඳහන් කර ඇත්තේ දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය ධාරිතාව ඉතා ඉහළ බැවින් එහි ජීව විද්‍යා විෂය ධාරාවේ හා භෞතික විද්‍යා විෂය ධාරාවේ ශිෂ්‍යාවන් ප‍්‍රමාණයක් ඇතුළත් කිරීමට යෝජනා වී ඇති බවයි. එසේම උක්ත ලිපියේ වැඩිදුරටත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරන්නේ මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු එම විද්‍යාලය සංවර්ධනය කොට දේවිබාලිකා විද්‍යාලයට අනුයුක්ත කිරීමට එකඟවී ඇති බවයි."

මේ ආකාරයට දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් පාසල් සංවර්ධනය කරන්නට යන්නේ ගේට්ටු කඩා අයුතු ලෙස බලහත්කාරයෙන් පාසල් භූමියට ඇතුළු වී ද යන්න ජ්‍යෙෂ්ඨ  ගුරු සංගම් නායකයා විමසා සිටී.

ලංකා ගුරු සංගමය පවසන පරිදි ඉහත  ලිපියට පිළිතුරු ලෙස කිසිදු වග විභාගයකින් තොරව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමු කර ඇති 2021.මාර්තු 19 දිනැති ලිපිය මගින්  බප/ජය/ශ්‍රී  විජයාරාම විද්‍යාලය දේවි බාලිකා විද්‍යාලයට අනුයුක්ත කිරීමට එකඟතාවය ලබා දී ඇත.

එහෙත් මේ වන විට ශ්‍රී  විජයාරාම විද්‍යාලය ආසන්නයේ පවතින මහාමයා විදුහලේ ළමුන් 300 කට ආසන්න පිරිසක් ගොඩනැගිලි පහසුකම් නොමැති නිසා ශ්‍රී  විජයාරාම විදුහලට යොමු කිරීමට සැලසුම් කර තිබු බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ මේ තත්වය තුළ මහාමායා විදුහලේ ඉගෙනුම ලබන එම දරුවන්ට කෝවිඞ් 19 වසංගත තත්වය යටතේ වසරකට ආසන්න කාලයක් අධ්‍යාපනය අහිමිව තිබියදී බස්නාහිර පළාතේ පාසල් ආරම්භ වූ 2021 මාර්තු 29 දින පාසල් යාමේ අවස්ථාව ද අහිමි වූ අතර එම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට පාසලක් නොමැති තත්වයක් මේ තුළින් නිර්මාණය වී ඇති බවයි.

මේ අතර දේවිබාලිකා විදුහලේ සිසුවියන්  විජයාරාම විදුහලට ගෙන නොයන බව එම  විදුහලේ විදුහල්පතිනිය මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇති බව ජෝසප් ස්ටාලින් පෙන්වා දෙයි.

මේ තත්වය තුළ ගංගොඩවිල විජේරාම ප‍්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි කරමින් ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, අධ්‍යාපන ලේකම්වරයා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා එක්ව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කුමන අරමුණකින්ද යන ගැටලූවක් පැන නගින බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.

සිය නිවේදනය මගින් ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ දේවිබාලිකා විදුහල්පතිනිය එම විදුහලේ සිසුවියන් මෙම පාසලට ගෙන නොයන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරද්දී අධ්‍යාපන ලේකම්රවයා ඉහත ආකාරයේ ලිපියක් යොමු කරන්නේ කුමන අරමුණකින්ද යන්න බරපතල ගැටලූවක් බවයි.

එසේම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා තමන් විසින් අවධානය යොමු කළ යුතු පළාත් සභා පාසලේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාව අහිමි කරමින් ජාතික පාසලක දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම කනගාටුදායක තත්වයක් බව ලංකා ගුරු සංගමයේ අදහසයි.

පාසල් සංවර්ධනයට යැයි ගේට්ටු කඩා පාසල්වලට ඇතුළත් වන දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන්ගේ “තදියම් අරමුණ” මෙම පාසල්වලට අයත් දේපළ කොල්ලකෑම ද යන්න සැකයට තුඩු දෙන කරුණක් බව ජෝසප් ස්ටාලින් සිය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මෙම පුවතට අදාළ පුවත් දෙකක් මීට පෙර newstube.lk  වෙබ් අඩවියේ පළවූ අතර එහි සබැඳි පහත දැක්වෙයි.

 

ගජමිතුරු කෝටිපතියෙකුගෙන් දේවී බාලිකා බිමට ලංසුවක් !

දේවී බාලිකා බිමට ලන්සුව පුවතට : දිලිත් ජයවීර ප්‍රතිචාර දක්වයි ! (පිළිතුරුදීමේ අයිතිය )

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න