Language Switcher

V2025

සංචරණ සීමා ඉල්ලු : සුදර්ශනීගේ යෝජනාව පරාද කරලා !

සති අන්ත නිවාඩු දින කිහිපය තුළ පළාත් අතර සංචාරණය සඳහා සීමා පැනවූයේ නම් ජනතාවගේ අනවශ්‍ය ගමන් නතර කර ගැනීමට හැකිව තිබූ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  සඳහන් කරයි.

ගතවූ දින කිහිපයේ ආගමික හා සංචාරක ස්ථානවල ජනතාව වැඩි වශයෙන් එක් රැස් වී සිටිනු දැකිය හැකි බවද ඇය කියා සිටියාය.

තම අභිලාෂය වූයේ ද සති අන්ත කාලයේ දී යම් සංචාරක සීමාවන් පැනවීම වුවත් එම යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වූ බව ද ඇමතිනිය පැවසුවාය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෙස ජනතාවට පවතින තත්වයේදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කළ බවත් ඇය තවදුරටත් කියා සිටියාය.මෙම පුවත ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වන සී නිව්ස් වාර්තාවකිනි.

පළාත් දෙකක් අවධානම් !

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඊයේ (25) නව ආසාදිතයන් 783ක් සොයා ගැනීමත් සමඟ  මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය  1, 01379 දක්වා ඉහළ ගිය බවය.

මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 94, 311කි. ආසාදිතයින් 6426 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 644 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. මේ අතර, මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ඇතැයි , සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ , ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කිහිපයක හඳුනාගත් කොවිඩ් පොකුරු හේතුවෙන් එම තත්ත්වය මතුව ඇති බවයි.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය අනුව , බස්නාහිර හා වයඹ පළාත් අවදානම් මට්ටමක පවතින බව , ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

 සෙසු පළාත්වල ද ඉදිරියේදී අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඔවුන් පවසයි.