Language Switcher

V2025

බැසිල් ඇවිත් !

සිය නිවස බලා පිටත්ව ගොස්සිටි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (23) මෙරටට පැමිණෙනු ඇති බවත් ඔහු ඒ සඳහා ඊයේ ඇමරිකාවෙන් පිටත්ව ඇති බවත් දැනගන්නට ඇත.

නැව් ගිලුණත් යට නොගිය බැසිල් රෝහණ !  
 
බැසිල් රාජපක්ෂ මෙරටින් පිටත්ව ඇමරිකාවේ සිය නිවස බලාගොස් මාසයක් පමණ වන අතර ඒ කාලය තුළත් පුවත් මවන්නෙකු විය. බැසිල් ගෙදර ගියේ වැඩි සද්දයක් බද්දයක් නැතිවය. දේශපාලන ආරංචිමාර්ග අනුව බැසිල්ගේ ගමන දන සිටියේ කිහිපදෙනෙකු පමණය.  පිටත්ව ගිය පසුව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් මාධ්‍යවෙත කියා තිබුණේ බැසිල් ගියේ සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගන්නට කියාය. නමුත් ඇමති නාමල් කිව්වේ බාප්පිට ඉහෙන් බහින රෝගයක් තිබුණේ නෑ කියාය. කොහොමින් කොහොම හරි ගිය දවසේ සිට ලංකා දේශපාලනයේ මාතෘකාවෙන් කොටසක් බැසිල් සතුවිය.
 
චන්දිමාල්ගේ උපන්දින සාදයේ සිට බස් හරව හරවා  පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට ගිය නාටකය ආවත්, වරාය ඇමති රෝහිතගේ හැකියාව තහවුරු කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිසා බටහිර මුහුද වැනසී - ධීවර කර්මාන්තයම අර්බුදයට ගියත් බැසිල් ගැන කතාව යටගියේ නැත.
 
කොයි දේටත් මුල්තැන හිටි බැසිල් රෝහණ !
 
සමහර විට ඒ කොවිඩ් මර්දන කටයුත්තේ මුල් වගකීම මෙන්ම ජනාධිපති කාර්ය සාධක බලකා කිහිපයක මුල්තැන බැසිල් සිටි නිසා වන්නට පුළුවන. කොහොමටත් බැසිල් ගෙදර ගියේ කොරෝනා තුන්වෙනි රැල්ල දරුණු ලෙස මෙරට තුළ මතුවෙන මොහොතේය. කොරෝනා මර්දන කටයුතු මුළුමනින්ම අවුල් කරගෙන තිබූ අතර එන්නත්කරණ වැඩසටහනත් පටන්ගත් තැනම අනාගෙන තිබිණ. අදටත් දෙවන මාත්‍රාව  ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 6 ක පමණ හිඟයක් පවතී. ඒ ගැන සුබ බලාපොරොත්තු දනවන පුවතක් ජපානය ඇසුරෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය හරහා නිවේදනය වූවත් ජපන් තානාපති කාර්යාලය කිව්වේ එවැන්නක් ගැන දැනුවත් නොමැති බවය. මාසයක් වසාගෙන හිටි රට විවෘත කරපු දවස වූ ජුනි 21  පමණක් කොරෝනා මරණ 71ක් වාර්තා කර තිබිණ. එන්නත්කරන වැඩ සටහන ගැන මොන කතාද ? දැන් කොරෝනා සංඛ්‍යා දත්ත ගැනත් කුමන්ත්‍රණ චෝදනා නැගෙමින් ඇත. වසංගත රෝග ඒකකයේ ප්‍රධානීන් රට හමුවේ ප්‍රසිද්ධියේ කුමන්ත්‍රණකරුවන් ලෙස චෝදනා ලබමින් ඇත. හෙට කවුරු කුමන්ත්‍රණ චෝදනා ලබනු ඇත්දැයි සෞඛ්‍ය කාර්ය මණ්ඩල පීඩනයෙන්ය.
 
ආර්ථිකේ හතේ හතනේ   බැසිල් රෝහණ !  
 
ගොවියන්ට පොහොර නැත. පොහොර නැති නිසා අස්වනු වෙනදා තරම්වත් විශ්වාස නැත. කාබනික යන නම ඇසුණු විට දැන් ගොවියන් අමතන්නේ කුනුහරපෙන්ය. කාබනික වැඩෙත් ප්‍රධානියා කර තිබුණේ බැසිල්ය. එහෙත් බැසිල් ගෙදර ගියේ ඊට පසුදාය. ධීවරයන්ට නැවේ ගින්න නිසා පමණක් නොව ඉන්ධන මිල ඉහළ යාමත් නිසා කබලෙන් ලිපට වැටී ඇත. ඉන්ධන මිලේ ඉතිහාසගත වැඩිවීම නිසා ආහාර ද්‍රව්‍ය පමණක් නොව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යන තත්ත්වයක් උද්ගතව ඇත. පාසල් විවෘත කරගන්නට වැඩපිළිවෙලක් නැතුව පමණක් නොව දරුවන්ට online ඉගෙන ගන්නත් data ප්‍රශ්නය. විශ්ව විද්‍යාල ප්‍රජාව පාරට බැස උද්ඝෝෂණයේය. පොලිසිය ඔවුන් සමඟ පඹයන් උස්සන සෙල්ලමේය. 
 
ඒ මදිවට යුරෝපා පාර්ලිමේන්තුව ලංකාව සම්බන්ධව යෝජනාවක් සම්මත කර ඇත. ඒ කියපු විදියට වෙනස් වුණේ නැත්නම් GSP + සහනය නැතිවීම අංක එකය. ඉතුරුවා පසුවටය. එසේම යුරෝපා පාර්ලිමේන්තුවෙන් පමණක් නොව  ජිනීවා මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය කමිටුව  වෙතින් නිවේදන පැමිණ ඇත්තේ හිරේ දාගත් ශානිගෙ සිට හිජාස් ඇතුළු පිරිස ගැන අවවාදාත්මක නිවේදන නිකුත් වෙමින් ඇත.
 
අම්මා මුත්තා කාලේ වැවක් හාරන විට චීන තොරන් ගසා චීන කතා අසා නැති නමුත් මුලින්ම එය අහන්න හම්බන්තොට ඇස්කන් පිංකර තිබිණ. ඒ අස්සේ වැව හාරන්න පැමිණි චීන ජාතිකයන්ගේ ඇඳුම් චීන හමුදා ඇඳුමට සමාන බවට මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත. ඒ සමඟ ඉන්දියාව කියන්නේ කලාපයේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බවය,එනිසා ශ්‍රී ලංකාව ආසන්නයේ ඇතුළු ඉන්දියානු සාගර කලාපය පුරා, සිය නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට ‌‌,ප්‍රේඩේටර් (predator) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගන්නා බවය. ඒ කියන්නේ ජාතික ආරක්ෂාව පමණක් නොව ස්වෛරීත්වය පවා අවධානමේ තත්වයක් කියා දේශපාලන විචාරකයන් අනතුරු අඟවමින් ඇත.
 
රටේ විදෙස් සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 3ක් වැනි කාලයකටය. එදාවේල රට දුවවමින් සිටින්නේ  බංගලිදේශයෙන් පවා අතමාරුවට සල්ලි ඉල්ලාගෙනය. පසුගිය වසර 9ක පමණ කාලය තුළ අච්චු ගැසූ මුදල් ප්‍රමාණය පසුගිය වසර 1 1/2 ක කාලය තුළ අච්චු ගසා ඇත. රටේ උද්ධමනය ඉහළ යාම ඒ හමුවේ අනිවාර්යය. රාජ්‍ය ආදායම් පවා මුළුමනින්ම බිඳගෙන ඇත.  රටේ ආර්ථිකය හොම්බෙන් යන්න පටන් ගෙන ඇති අතර දැන් පැමිණ ඇත්තේ ජනතාවට එය දැනෙන්න ගන්නා කාලයයි. 
  
නොකියා මාරු වෙලා ගියෙත් බැසිල් රෝහණ !
 
බැලූ බැල්මට සියල්ල අනාගෙන ඇත. වැඩිම ජනප්‍රසාදයක් සහිතව බලයගත් ආණ්ඩුව ඉක්මනින්ම අප්‍රසාදයට පත්වූ ආණ්ඩුව බවට පත්ව ඇත. ඔය අස්සේ බැසිල් චෝදනා ලබන්න ගත්තේ, සියලු තනතුරු බදාගෙන අමාරුම වෙලාවේ රට පැන්නා කියාය. ආණ්ඩුවේම තවත් අය කිව්වේ ඒ බැසිල්ගේ හැටි ප්‍රශ්නය බරපතළ නම් බැසිල් මාරුවෙන බවය. ඔවුන් උදාහරණයට ගත්තේ 2015 පරාජය අවස්ථාවේ අයියලා පවුල් පිටින් ලංකාවේ තනිකර බැසිල් ඇමරිකාවට යාමය.
 
නමුත් ප්‍රශ්න ඉස්සරහා බැසිල් මාරුවෙන කතා පස්සට ගියේ ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධව ගම්මන්පිළ වගකිව යුතු බවට පොදුජන පෙරමුණ ඇතුලෙන් චෝදනා කිරීමත් සමඟය. බැසිල්ගේ ප්‍රධාන ගෝලයකු වන පොදුජන පෙරමුණ ලේකම් සාගර කාරියවසම් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත්කර කිව්වේ ගම්මන්පිළ ඉල්ලා අස්විය යුතු බවය. එපමණක් නොව ආණ්ඩුව වෙනයි, පක්ෂය වෙනයි කියන තැනටද බැසිල් පිල ගියේය. 
 
"තෙල් මිල වැඩි කිරීම වැරදියි. දුන්න වැඩේ හරියට නොකළ නිසා ගම්මන්පිල ඉල්ලා අස්වෙන්නම ඕන. ආණ්ඩුව තෙල් මිල වැඩි කලාට පක්ෂයක් හැටියට පොදුජන පෙරමුණ ඒ වැඩේට විරුද්ධයි" ඒ බැසිල් පිලේ ස්ථාවරය විය.
 
" බැසිල් හිටියා නම් ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නේ නෑ" , " ආර්ථික ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ බැසිල් ළඟ" කියන කතා ඇසෙන්න ගත්තේද ඒ පසුබිමේය. ආණ්ඩුවේ සිටින බැසිල්ගේ ගෝලයන් දැන් වෙන කිසිවක් කියන්නේ නැත. ඊට වඩා දෙයක් ඔවුන් කරනවා නම් ඒ ආණ්ඩුවේ සිටින බැසිල් විරෝධී පාර්ශව වලට පහරදීමය. බැසිල්ගේ ප්‍රධාන පෙළේ ගෝලයකු වන රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ලිව්වේ මෙවර වදය කැඩෙන තුරු ගල්ගහන බවය. විමල් - ගම්මන්පිල පාර්ශවයට අද ගහන්නේ රාජ්‍ය ආයතන සභාපතිලාය. ආණ්ඩුවේ සිටින ජනතා නියෝජිතයන් කියන ගෞරවයත් ඔවුන්ට අහිමි කරන්න තරම් බැසිල්ගේ ගෝලයන් ඉස්සරහට ගොස් ඇත.
 
මුදල් ඇමති වෙලා එන්න බැසිල් රෝහණ !
 
ඊට නමක් ලෙස ලැබී ඇත්තේ බැසිල් සුළඟය. කතාවේ හැටියට නම් බැසිල් සුළඟ එන්න යන්නේ මහින්ද සුළගේ නිර්මාතෘන් පවා සුනුවිසුණු කරගෙනය.  
 
විමල් වීරවංශ ඇමති එප්පාවල පොස්පේට් සමාගම තම විෂයෙන් ගැලෙව්වේ කවුද කොහොමද යන්න දැන සිටියත් තවමත් කම්පනයෙන්ය. දේශපාලන ආරංචිමාර්ග කියන්නේ  ගම්මන්පිළ ඉන්ධන මිල යළිත් පහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කලත් ජනාධිපති එය පැත්තකට කර ඇති බවය. ඒ කියන්නේ ඉන්ධන මිල අඩු කිරීමේ අවස්ථාව ගම්මන්පිල ඇමතිට දීමට ජනාධිපති තීන්දුකර නොමැති බවද ? "ඉන්ධන මිල අඩු කිරීමේ වීරයා" , "ජනතාවට සහන දෙන සූරයා" ලෙස බැසිල්ට අවස්ථාව සලසා ඇති බවද ? මේ ගැන ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ, ලංකාවට ඇවිත් මුදල් ඇමති ලෙස වගකීම් අරගෙන විධිමත් ලෙස ආණ්ඩුවේ වැඩටික කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ආරාධනා කර ඇති බවය. 
 
විමල් - ගම්මන්පිල - වාසු ඇතුළු බැසිල් විරෝධී පාර්ශව සමඟ වන බැසිල් පාර්ශවයේ  අවුල ගැන කියනවා නම්, දැන් කාටවත් exit නැති තැනකට පත්ව ඇත. ඒ කියන්නේ එක්කෝ දෙගොල්ලන්ගෙන් කවුරුන් හෝ යටත් විය යුතුය. නැත්නම් වෙන්විය යුතුය.
 
මේ සියල්ල ගැන දැනගන්න, බලාගන්න ලැබෙන්නේ බැසිල් ආවට පස්සෙය.