Language Switcher

V2025

ඉන්දියාවෙන් දියවන්නාවට පාවෙන සූර්ය විදුලි බලාගාරයක්

විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගෙනයමින්,  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ   මගපෙන්වීමෙන් පාවෙන සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය (Floating Solar System) ආරම්භ කිරීම කඩිනම් කළයුතු බව, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  අවධාරණය කරයි.

වසර 2030 වනවිට විදුලිබල අංශයට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමේ අරමුණූ ශාක්සාත් කරගනිමින්, විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම මිල අවම ස්ථාවර විදුලිබල සේවාවක් ලබාදීම උදෙසා මේ වනවිට සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති රාශියක් දියත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය ප්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

 ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ප්‍රමුඛ රජයේ මගපෙන්වීම යටතේ, විෂයබාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසනායක යන අයගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතීන්ට අමතරව, මෙම පාවෙන සූර්ය විදුලි බලාගාර සංකල්පය ක්‍රියාත්මක තලයට ගෙනඒමට සැලසුම් කර තිබේ.

මෙහි පළමු අධියර වශයෙන් ඉන්දීයානු රජයේ ණය ආධාර යටතේ, දියවන්නාව කේන්ද්‍ර කරගනිමින් පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්තවන අතර මේ වනවිට මෙහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතී.

දියවන්නාවේ පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීම ඉතාමත් කඩිනමින් සිදුකර, පාවෙන සූර්ය විදුලිබලාගාර සංකල්පය පිළිබදව පාර්ලිමේන්තුවෙන් සමස්ත රටටම පූර්වාදර්ශයක් ලබාදෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  අවධාරණය කරයි.

විදුලිබල අමාත්‍යාංශය, සූර්ය,සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, මහවැලි අධිකාරිය, සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සාමූහිකත්වය තුළින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම නවමු ව්‍යාපෘති සංකල්පයේ දෙවන අධියර වෙනුවෙන් මහවැලි අධිකාරිය විසින් මේ වනවිට ජලාශයන් කිහිපයක් නම්කර තිබේ.

සෞභාගයයේ දේශයක් කරා රට මෙහෙයවන ගමනේ පෙරගමන්කරු වෙමින්, ජනතා පරමාධිපත්‍යය තුළින් නායකත්වය සපැමිණි නව රජය, ජනතා අභිලාශයන් මුදුන්පත් කිරීමට නිතැතින් කටයුතු කරනු ලබන අතර හරිත දේශයක් බිහිකිරීමේ උදාර කර්තව්‍යය වෙනුවෙන් දායක වෙමින්, පොසිල ඉන්ධන භාවිතය ශුණ්‍ය අගයක් කරා ගෙන ඒමටත්, ඒ තුළින් සමස්ත රටවැසියන් විදුලියේ එළියෙන් දිදුලන, හරිත දේශයක සැබෑ උරුමක්කාරයින් බවට පත්කිරීමට කැපවී කටයුතු කරන බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් අවධාරණය කරයි.