Language Switcher

V2025

නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට පැරා ඔලිම්පික් රන් පදක්කමක්

නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් අද (30) සමත් විය.

ඒ පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන්ය.

2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරග අද උදෑසන පැවැත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර 67යි දශම 7යි 9ක දක්ෂතාවක් දක්වමිනි.

ඒ අනුව ඔහුට එම ඉසව්වේ රන් පදක්කම හිමිවිය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් පැරලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ දිනූ පළමු රන් පදක්කම මෙය වීම විශේෂත්වයකි.

එක් අතක් වැලමිටට පහළින් හෝ ඉහළින් අහිමි ක්‍රීඩකයන් තරග වදින එෆ් 46 කාණ්ඩය යටතේ තරග වැදුණ දිනේෂ්, සිය තෙවැනි උත්සාහයේදී මිටර් 67.79 ක දුරක් හෙල්ල විසිකරමින් නව ලෝක වාර්තාව පිහිටුවේය. ඔහුගේ පළමු උත්සාහය මීටර් 62.58 ක් ලෙසද, දෙවැනි උත්සාහය මීටර් 62.19 ක් ලෙසද සටහන් විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන 35 හැවිරිදි දිනේෂ්, 2016 වසරේදී පැවැති රියෝ පැරලිම්පික් උළෙලේදී මීටර් 58.23 ක දුරක් හෙල්ල විසිකරමින් එෆ් 46 කාණ්ඩයේ ලෝකඩ පදක්කමට හිමිකම් ක්‍රීඩකයාද විය.

2017 වසරේ ලන්ඩන්හිදී (මීටර් 57.93) සහ 2019 වස⁣රේ ඩුබායිහිදී (මීටර් 60.59) පැවැති පැරා ලෝක ශූරතාවලි දෙකේදී රිදී පදක්කම් හිමිකරගත් ඔහු, 2018 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැති ආසියානු පැර ක්‍රීඩා උළෙලේදී මිටර් 61.84 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කමක් දිනාගත්තේය. මෙවර පැරලිම්පික් උළෙලට සහභාගී වීමට පෙර ඔහුගේ ඉහළම දක්ෂතාව ලෙසද එය සටහන් විය.

මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දියාව සතුවූ අතර එම පදක්කමට හිමිකම් කී ක්‍රීඩකයන් දෙදෙනාද පැරණි වාර්තාව අභිබවා යෑමට සමත් වීම එහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.

2016 වසරේදී පැවැති රියෝ පැරලිම්පික් උළෙලේදී මීටර් 63.97 ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ දේවේන්ද්‍ර, එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ පැරණි වාර්තාවට හිමිකම් කීවේය. මෙවර තරගාවලියේදී සිය ඉහළම දක්ෂතාව දක්වමින් මීටර් 64.35 ක දුරක් හෙල්ල විසි කිරීමට දේවේන්ද්‍ර සමත් වුවද, ඔහුට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

පැරා ලෝක ශුරතාවලි දෙකකදී (2017 සහ 2019) රන් පදක්කම් දෙකක් සහ පැරා ආසියානු ක්‍රීඩා උළෙලකදී (2018) රිදී පදක්කමක් දිනා සිටි ඉන්දියාවේ සුන්දර් සිං, මීටර් 64.01 ක දක්ෂතාවක් දක්වමින් මෙවර එම ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.

a28d7b08 208b16ee e8a8 489d be91 f795b35784ec

dinesh pera 1000px