Language Switcher

V2025

ආණ්ඩුව මාෆියා සතුටු කරනවා - හඳුන්නෙත්ති

මාෆියා සතුටු කිරීම වෙනුවට ආණ්ඩුව ජනතාවට සහන දියයුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

කොවිඞ් වසංගතය හමුවේ සංචරණ සීමා පනවා තියෙන අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධවල මිල ඉහළ යාම සම්බන්ධයෙන්, ආණ්ඩුව ජනතාවගේ සහන කප්පාදු කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අද (29) ජවිපෙ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව අවධාරණය කෙරුණු අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අදහස් දැක්වීය.

මේ එහිදී හිටපු මන්ත්‍රීවරයා දැක්වූ අදහස් ය.

අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට ඩොලරයේ අගය වැඩිවීම, රුපියල බාල්දු වීම සහ ආනයනය සීමා පැනවීම වගේම ආර්ථිකයේ පසුබෑම වැනි කරුණු ආණ්ඩුව විසින් දක්වනවා. පොදුවේ දකින්න ලැබෙන කරුණු මේ තත්වයේ තිබුණත් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යාම දරාගන්න බැරිවී තිබෙන්නේ මේ හේතු නිසාම නෙවෙයි. ජනතාව පවතින තත්වයන් බාරගන්න ඕනෑ බව ආණ්ඩුව පවසනවා. පාරිභෝගික කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ මේ මොහොතේදී උත්තරයක් නැහැ කියලා. මෙතරම් පීඩනයක් ජනතාවට තිබියදී වගකිව යුතු අමාත්‍යවරුන් කරන ප්‍රකාශ දිහා බැලුවාම ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය පැහැදිලියි.

ආණ්ඩුවේ ගජ මිතුරන්ගේ ඒකාධිකාරයේ ප්‍රතිඵල !

සීනි සම්බන්ධයෙන් විශේෂයෙන්ම 2020 නොවැම්බර් 16 ගැසට් නිවේදනයක් නිකුත් කළා. තොග මිල රු. 80ක් සහ උපරිම සිල්ලර මිල රු. 85ක් නියම කළා. නමුත් මේ අතර සීනි ආනයනය කිරීමේ කිලෝවක බද්ද රු. 50 සිට ශත 25 දක්වා අඩු කළා. මෙතැන රු. කෝටි 1,500කට වැඩි බදු වංචාවක් සිදුවුණා. අපි ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළා. ඒ වෙනකොට මෙ.ටොන් 90,000ක් ගෙනත් තිබුණා. මැයි මාසය දක්වා මිල වැඩිවීමක් නොවන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කළා. ආනයනකරුවන් සමග වෙළඳ ඇමතිවරයා විල්මා ආයතනය ඇතුළුව 12දෙනෙකු සමග විතරක් ගිවිසුම් අත්සන් කළා. නමුත් ඒ වෙනකොට 65 දෙනෙකු ආනයනය කිරීමේ යෙදී හිටියා. නමුත් මැයි මාසයෙන් පස්සේ සීනි මිල වේගයෙන් වැඩිවී අද රු. 240ක් ඉක්මවා තිබෙනවා. උපරිම මිල සීමාව අප්‍රේල් මාසයෙන් අවසන් වුණා. වෙළඳ ඇමතිවරයා කීවේ සීනි හිඟයක් නැති නිසා ප්‍රශ්නය ඉවරයි කියලා. දැන් පාරිභෝගික කටයුතු ඇමතිවරයා කියන්නේ රු. 100කින් මිල වැඩිවුණත් කරන්න දෙයක් නැහැ කියලා. මේ රටේ ජනතාව වෙනුවෙන් සහන දෙන්න තිබියදී බදු වංචා කරලා කිහිප දෙනෙක් අතර ඒකාධිකාරයක් පිහිටුවන්න ආණ්ඩුව ඉඩ දීලා. සහල් වෙළඳපොළේ තියෙන්නේ ආණ්ඩුවේ ගජ මිතුරන්ගේ ඒකාධිකාරයේ ප්‍රතිඵලයි. ගොවි ජනතාවත් පාරිභෝගිකයත් අසරණ කරලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන රතු කැකුළු සහල් කිලෝ එකක් 115ක විතර ඉඳලා විවිධ වර්ගවල සහල් රු. 200 දක්වා මිල වැඩිවෙලා.

සතිපතා මිල වැඩිවීම් !

වෙළඳපොළේ මිල වැඩිවන අවස්ථාවල දේශීය නිෂ්පාදකයන්, දේශීය කර්මාන්ත දියුණු කරන්න සමහර ඇමතිවරු කතා කරනවා. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කළෙත් ඒ විදිහට. ඊට පස්සේ මොනවාද සිද්ධ වුණේ? සැමන් කර්මාන්ත ශාලාත් එහෙමයි. අනෙක් පැත්තෙන් සැමන් සහ පරිප්පු සහනාධාර මිලට දෙනවා කියලා අද මොකද වෙලා තියෙන්නේ? අද දිනපතාම සියලුම අත්‍යාවශය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යනවා. රු. 150ට තිබුණු අල කිලෝ එක රු 200 සහ ලංකා අල කිලෝව 250 දක්වා ඉහළ ගිහින්. ලොකු ලූණු කිලෝ එක රු 130යි. 340ට තිබුණු හාල් මැස්සෝ කිලෝව රු. 1100 විතර දක්වා වැඩිවෙලා. වියළි මිරිස් 650යි. රු. 380ට තිබුණු පොල් තෙල් ලීටරය අද 750යි. අද කිරිපිටි හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම එළවළු සියලුම වර්ගවල මිල ගණන් දිනපතා ඉහළ යනවා. අද ආදායම් මාර්ග අහිමි වී, නිරෝධායනයට ලක්වී, නිරෝධායන ඇඳිරි නීතියට ලක්වී ඉන්න ජනතාව මුහුණ දෙන ජීවන වියදම් ගැටලු ගෑස් මිල, ඉන්ධන මිල, පාන් සහ බනිස් මිල ඇතුළු අත්‍යවශ්‍ය හැම දේකින්ම වේගයෙන් වැඩිවෙලා. ආදායම් මාර්ග නැතිවීම, පඩි වැඩිවීම් නැතිවීම, පවතින පසුබිමක පුංචි බිස්කට් පැකට් එකක පවා මිල රු. 10කින් විතර සතිපතා වැඩිවෙමින් තිබෙනවා.

මේ අතර ඖෂධවල උපරිම මිල තීරණය කරල අගෝස්තු 19වැනිදා ගැසට් එකක් නිකුත් කළා. ගැසට් නිකුත් කරන්න ඕනෑ පවතින මිලට වඩා අඩු මිලකට ලබාදෙන්න. නමුත් සිදුවී තිබෙන්නේ කොවිඞ් වසංගත තත්වය තුළ පවා අනෙකුත් ලෙඩ රෝගවලට ඖෂධ ගන්න බැරි තත්වයක් ඇතිවී තිබීමයි. ඖෂධ නාමයෙන් මිල තීරණය කර තිබෙන අතර වෙළඳපොළේ වෙළඳ නාමයන් යටතේ විශාල වැඩි මිලකට ඖෂධ විකුණනවා. නමුත් ගැසට් නිවේදනයෙන්ම ඖෂධ නාමයේ මිල ගණන් වැඩි කරලා තියෙන්නේ. අධි රුධිර පීඩනයට ගන්නා ලොසාටන් පොටෑසියම් මිලි ග්‍රෑම් 25 රු. 4 ඉඳලා 9.62 දක්වා වැඩි කරලා. ඒවගේම මිලිග්‍රෑම් 50 රු. 7 ඉඳලා 13.49 දක්වා වැඩි කරලා. ඒ වගේම කොලොස්ටරෝල්වලට ගන්නා ඇටෝවාන්ටැටීන් මිලි ග්‍රෑම් 10 රු. 4.50 ඉඳලා 14.60 දක්වා වැඩි කරලා. ඒ වගේම මිලි ග්‍රෑම් 20 ර.ැ 7.50 ඉඳලා 23 දක්වා වැඩි කරලා. දියවැඩියාවට ලබාගන්නා මෙට්ෆෝමින් මිලි ග්‍රෑම් 500 රු. 3.20 ඉඳලා 5.17 දක්වා වැඩි කරලා. ඒ වගේම ග්ලික්ලසයිඞ් මිලි ග්‍රෑම් 80 රු. 5 ඉඳලා 14.80 දක්වා වැඩි කරලා. ගැස්ටි්‍රක්වලට ලබාගන්නා ඔමෙප්‍රසොල් මිලිග්‍රෑම් 20 රු. 4.80 ඉඳලා 5.89 දක්වා වැඩි කරලා. ඒ වගේම පැන්ටොප්‍රසෝල් මිලි ග්‍රෑම් 30 රු. 3.50 ඉඳලා 22.25 දක්වාත් එම මිලි ග්‍රෑම් 40 රු. 4.50 ඉඳලා 36.65 දක්වාත් වැඩි කරලා. ආණ්ඩුවේ ගජ මිතුරන් සතුටු කරන්න වැඩ කරලා තියෙන්නේ මේ ආකාරයටයි. අපි කියන්නේ ආණ්ඩුව මේ මාෆියාව සතුටු කරනවා වෙනුවට ජනතාවට සහන දෙන්න ඕනෑ කියලා. ගැසට් නිවේදන නිකුත් කරන්න ඕනෑ සහන ලබාදීම වෙනුවෙන්. අත්‍යවශ්‍ය භාණ්ඩ වගේම අත්‍යවශ්‍ය ඖෂධ මිල වැඩිකරලා ආණ්ඩුව ජනතාවගෙන් පළි ගන්නා බවයි අපිට දකින්න තියෙන්නේ.

හතර පස් දෙනෙක් මුළු රටේම වෙළඳපොළ හසුරුවමින් ඉන්නවා !

කොවිඞ් තත්වය වර්ධනය වෙද්දී රට වහන්න කියලා විශේෂඥයින් කියද්දී ආණ්ඩුව කීවේ පුංචි මිනිහා ගැන සලකන්න ඕනෑ කියලා. නමුත් මිල වැඩි කිරීමේදී ආණ්ඩුවට පුංචි මිනිහා මතක් වෙන්නේ නැහැ. නමුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිල වැඩි කරන්න ඉඩ දෙන්නේ තමන්ට බලයට එන්න උදව් කළ ජාවාරම්කාරයන් වෙනුවෙනුයි. මිනිස් ජීවිත බිල්ලට දීලා හරි ආණ්ඩුව මේ පිරිස රකින්න උත්සාහ කරනවා. මාධ්‍ය සංදර්ශන හැටියට දේශීය කර්මාන්ත, දේශීය ගොවියා ගැන කතා කරනවා. නමුත් පොහොර ප්‍රශ්නය එනකොට කෘෂිකර්ම ඇමතිවරයාට කොවිඞ් හැදුණා කියනවා. තෙල් මිල වැඩිවෙනකොට ඛනිජ තෙල් ඇමති විවිධ තර්ක ඉදිරිපත් කරලා පස්සේ කොවිඞ් හැදුණා කියලා පැත්තකට වෙනවා. බඩු මිල ගැන විවිධ තර්ක ඉදිරිපත් කරලා සතොසෙන් ඕනෑ කෙනෙකුට බඩු ගන්න පුළුවන් කියලා තර්ක කරලා අන්තිමේ කොවිඞ් හැදුණා කියලා පැත්තකට වෙනවා. ඊට පස්සේ වගකියන්න කෙනෙක් නැහැ. නමුත් හැම පැත්තෙන්ම හොරු ටික ඒකාධිකාරයන් පිහිටුවාගත් හතර පස් දෙනෙක් මුළු රටේම වෙළඳපොළ හසුරුවමින් ඉන්නවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අපි ආණ්ඩුවට බල කරන්නේ රටේ ජනතාව තවත් අසරණ නොකර වහාම සහන දීමේ වැඩපිළිවෙළක් හදන්න ඕනෑ කියලා.

මේ දක්වා නිරෝධායනයට ලක්කර සිටින පවුල්වලට රු. 10,000ක වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදුන්නා. ජනතාවගෙන් අයකළ බදු මුදල්වලින් මේ වැනි සහනයක් කොවිඞ් වැළඳී අසරණව සිටින ජනතාවට දිය යුතුයි. නමුත් ඒ සහන මල්ලත් අගෝස්තු 24දා ඉඳලා කප්පාදු කළා. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ අත්සනින් ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට යවා තිබෙනවා. අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් වියළි ආහාර මල්ල ලබාදෙන්න කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සඳහන් කර තිබෙනවා. මේ වියලි ආහාර ද්‍රව්‍ය මල්ල ලබාදෙන්නේ සෞඛ්‍යමය හේතුන් මතද එහෙම නැත්නම් ඔවුන්ගේ වත්කම් මතද කියලා මේ ආහාර ද්‍රව්‍ය මල්ල ලබාදෙන්නේ ආසාදිතයන් නිවාසවලින් පිටතට එන්න වළක්වන්න. හැබැයි දැන් ආණ්ඩුව අඩු ආදායම්ලාභී අයට විතරක් මේ සහනධාර මල්ල ලබාදෙන්න චක්‍රලේඛ යවනවා. අඩු ආදායම්ලාභී නොවන අය ආසාධිතයන් වුණත් වෙළඳපොළට යන්න වෙනවා. එයින් ආණ්ඩුව නොකියා කියන්නේ වෛරස් එක බෝ කරන්න එළියට ගියාට කමක් නැහැ කියලා. පවුල් පිටින් නිරෝධායනය වන විශාල පිරිසකගේ සෞඛ්‍යමය හේතුන් නොතකා ආණ්ඩුව ආර්ථිකය ගැන පමණක් බලලා තියෙනවා.

5000 දුන්න අයව 2000 දෙනකොට කපලා : බඩු මිලත් ඉහළ දාලා !

අනෙක් පැත්තෙන් රු. 2,000 දීමනාව ලබාදෙන්නේ ජීවනෝපාය අහිමි පවුල්වලට. මෙයට රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි සහ ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන අය හැටියට නම්කර තිබෙනවා. ආණ්ඩුවෙන් මොන යම්ම හෝ දීමනාවක් ලබන කෙනෙකුට රු. 2,000 දීමනාව ලැබෙන්නේ නැහැ. මේ චක්‍රලේඛයට අත්සන් කරන ඇන්ටන් පෙරේරා අග්‍රාමාත්‍ය ලේකම්වරයාම 2021 අපේ්්‍රල් මාසයේ රු. 5,000 දීමනාව සඳහා අත්සන් කර තිබෙනවා. ඊට සමෘද්ධිලාභී පවුල්, වැඩිහිටි දීමනා ලබන පවුල් ආබාධිත දීමනා ලබන පවුල්, වකුගඩු රෝගී දීමනා ලබන පවුල් යන සියල්ලම ඇතුල් කර තිබුණා. එකම කොවිඞ් වසංගතය තිබෙන කාලයක රු. 5,000 දීමනාවට අඩංගු කර තිබුණු අය රු. 2,000 දීමනාව දෙනකොට බඩුමිල ඉහළ ගොස් තිබියදී කපාහැර තිබෙනවා. රු. 5,000 දීමනාව දෙනකොට අදාල වුණු පවුල් 2,000 දීමනාවේදී අදාල නොවෙන්නේ කොහොමද? හැම පැත්තෙන්ම භාණ්ඩ මිල වැඩිවී තියෙන අවස්ථාවක විශාල වශයෙන් සහනාධාර ලබන පිරිස කප්පාදු කර තිබෙනවා. 2,000 දීමනාව දිය යුතු අයව තෝරා ගන්න බැරිව නිලධාරීන් අසරණ වී තිබෙනවා. උදාහරණයක් හැටියට මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් 66,610ක් ඉන්නවා. නමුත් අඩු ආදායම්ලාභීන් හැටියට රු. 2,000 දෙන්න තෝරාගෙන තිබෙන්නේ 53,611යි. සමෘද්ධිලාභීන් අයින් කරලා මේ අය තෝරාගෙන තිබෙන්නේ. කෘෂි රක්‍ෂණයට දායක වුණු අය පවා මේ දීමනාවෙන් අයින් කර කිසිවක් ලබා නොදෙන පදනමකට ආණ්ඩුව ක්‍රියා කරනවා. මේ නිසා අපි ආණ්ඩුවට බලකරන්නේ මේ සොච්චම් මුදල පවා කප්පාදු කරනවා වෙනුවට අවශ්‍ය සහනාධාර දෙන්න කියලයි.

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරු සහ පාර්ලිමේන්තුව ළඟ සඳුන් උයන් !

නමුත් ආණ්ඩුව මේ සහනාධාර කප්පාදු කරමින් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරු හදනවා. ඒ වගේම කැබිනට් තීරණවලින් ඩොලර් ලක්ස 18කට වැඩිය වියදම් කරලා කැබ්රථ ගන්න යනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලයේ කාර්යාල ප්‍රතිසංස්කරණය කරන්න ලක්‍ෂ හත්සිය ගාණක් වියදම් කරනවා. මේවා අත්‍යවශ්‍ය වියදම්ද? අත්තනෝමතික වුවමනාවන්ට බඳවා ගත් 29 දෙනෙකුට වැටුප් ගෙවන්න ලක්‍ෂ 161ක් මාසිකව දරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව ලඟ නාමල් රාජපක්‍ෂ ඇමතිවරයා සඳුන් උයනක් විවෘත කරන්න ලක්‍ෂ ගණනක් වියදම් කළා. මේවා රටේ ජනතාවට ප්‍රමුඛ අවශතාද? මෙහෙම තියෙද්දී සහනාධාර අවශ්‍යම අයට ලබාදෙන්න රු. 2,0000 පවා කප්පාදු කරන්නේ ඇයි? අත්‍යවශ්‍ය ඖෂධ මිල ගණන් වැඩි කරන්න ගැසට් ගහන්නේ ඇයි? ආණ්ඩුවේ ගජ මිතුරන්ට ජාවාරම් කරන්න සියලුම ඉඩකඩ හදා දීලා තියෙනවා. මේ ආණ්ඩුව තව දුරටත් ජනතාව වෙනුවෙන් නොකරන බව ජනතාව තේරුම් ගන්න ඕනෑ. ඒ වගේම ආණඩුවට බල කරනවා, ජනතාව ගැන වගකීම අත් නොහැර භාණ්ඩ මිල පාලනය කර සහන ලබා දිය යුතුයි. නිරෝධායනයට ලක්කර සිටින පවුල්වලට ලබාදෙන වියළි ආහාර කප්පාදුව නතර කරන්න ඕනෑ. ප්‍රමාණවත් නොවුණත් රු. 2,000 ප්‍රතිලාභය සියලු දෙනාටම ලබාදෙන්න ඕනෑ. ආණ්ඩුව මේ වෙනුවෙන් කටයුතු නොකර තමන්ගේ ගජ මිතුරන් සතුටු කරන්න ගෙනයන සූදුව තේරුම් ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මීට එරෙහිව ඔබ හැම දෙනාම මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදියෙකු යොමු කර තිබූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්...

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිළිබඳව ප්‍රශ්නයක් කෙටි පනිවුඩයකින් යොමුකර තිබෙනවා. රජයේ රහස් දත්ත ගබඩාවකට ප්‍රවේශ වීමේ හැකියාව තිබෙන්නේ හතර දෙනෙකුට බව ප්‍රකාශ කර තිබියදී මේ දත්ත මැකීම පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක්. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වනවා නම් මේ අවස්ථාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳවත් අවධානය යොමුකළ යුතුව තිබෙනවා. දත්ත මැකීම එතරම්ම බරපතළ තත්වයක්. දත්ත භාරව සිටි හතර දෙනා ආණ්ඩුව විසින් හෙළිදරව් කළ යුතු වෙනවා. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට දත්ත පිළිබඳ වගකීම තිබෙනවා නම් ආණ්ඩුව ඒ සම්බන්ධ ක්‍රියා කිරීමේ සියලු ඉඩකඩ විවෘතව තිබෙනවා. ඖෂධ මාෆියාවක ඕනෑකම වෙනුවෙන් මේ දත්ත මැකුවාද කියන ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. අදාල කිසි කෙනෙක් ආණ්ඩුවෙන් ආරක්‍ෂා කරන්නේ නැත්නම් සියලු තොරතුරු සමාජයට හෙළිකළ යුතුයි. එහෙම හෙළි නොකරන්නේ නම් දත්ත මැකීම පිටුපස දේශපාලන හස්තයක් තිබෙන බව නිගමනය කරන්න සිදුවෙනවා.