Language Switcher

V2025

හෑන්ඩ් සැන්ටයිසර් ටෙන්ඩරය සැකයි : චන්න ඇමතිගේ අවධානය පිණිසයි !

හෑන්ඩ් සැනිටයිසර් හදිසි තොගයක් ලෙස ලබා ගැනීම සඳහා DHS/RP/COV/189/2021 යන අංකයෙන් සිදුකර ඇති ටෙන්ඩර් කැඳවීම සැකසහිත බවට චෝදනා එල්ල වෙයි.

විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාළ ටෙන්ඩරය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන්ට පමණක් නොව එහි ලියාපදිංචිවී නොමැති සැපයුම්කරුවන්ටද අවස්ථාව ලබාදීම මෙම සැකයට හේතුවී තිබේ.

වාර්තා වන ආකාරයට ඖෂධ නියාමන අධිකාරිය තුළ මේ වන විට 10 කට ආසන්න සැපයුම්කරුවන් පිරිසක් ලියාපදිංචිව සිටියි. සැකය යොමුවී ඇති ටෙන්ඩරය හදිසි මිලදී ගැනීමක් යටතේ සිදුකරන්නට යන්නේ හෑන්ඩ් සැනිටයිසර් ලීටර් 160,000 ක ප්‍රමාණයකි.

ආරංචිමාර්ග සඳහන් කරන්නේ, මෙහිදී ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පහසුවෙන්ම මේ තොග ලබා ගැනීමට හැකියාව පවතින බවය. එසේම මේ වන විටත් හෑන්ඩ් සැනිටයිසර් සැපයීමට අදාළ ටෙන්ඩරයක සැපයීම් කිසිඳු ගැටළුවක් නොමැතිව ක්‍රියාත්මක වන බවත් දැනගන්නට ඇත.

එවැනි පසුබිමක මේ ආකාරයට නිසි ලියාපදිංචියක් නොමැති පාර්ශව වෙතද ටෙන්ඩරය සඳහා යොමුවීමට අවස්ථාව හිමිකරදීම කිසියම් සැක සහිත ගනුදෙනුවක් මෙන්ම ප්‍රමිතියෙන් තොර තොග වුවත් ලැබීමේ අවධානමක් ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.

එසේම මෙම ටෙන්ඩර් නිවේදනයේද ගැටළු ඇති බවත් වාර්තා වෙයි. ටෙන්ඩරය ආරම්භයේ "500 ml" ලෙස ඇනවුම් සැපයීම නියමකර ඇතත් ටෙන්ඩරයේ පසුව එය 5 l වශයෙන් සඳහන් කර ඇත.

එබැවින් මේ සම්බන්ධව විෂය භාර අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ අවධානය යොමුවීම අතිශය වැදගත්ය. ඒ මෙම හෑන්ඩ් සැනිටයිසර් සපයන්නේ කොරෝනා මර්දන කටයුතු වල නිරතව සිටින සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල සඳහා වන නිසාය. මෙවැනි අවධානම් ආකාරයට සැපයුම් ලබාගැනීම තුළ කිසියම් ප්‍රමිතියෙන් තොර සැපයුමක් ලැබීමේ සම්භාවිතාව කිසිසේත් ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ප්‍රශ්නගත ටෙන්ඩරය සම්බන්ධ ලේඛන පහත දැක්වෙයි.

WhatsApp Image 2021 08 29 at 20.54.10

WhatsApp Image 2021 08 29 at 20.54.25

මෙකී අවධාරණය කිසිසේත් බැහැර කළ නොහැකි වන්නේ දැනටමත් ඉතා බාල තත්ත්වයේ කොරෝනා ඇඳුම් කට්ටල ලබාදෙන බවට ප්‍රසිද්ධ චෝදනා එල්ල වෙමින් ඇති නිසාය.

කොරෝනා ඇඳුම් කට්ටලවලත් ගැහිල්ලක් !

රට පුරා වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශයේ සේවකයන් 2000කට ආසන්න පිරිස, මේවන විට කොරෝනා වෛරසයට ගොදුරු වී සිටියි.. එවැනි පසුබිමක මේ සෞඛ්‍ය පළමු පෙළ කාර්ය මණ්ඩල සඳහා ප්‍රමිතියෙන් තොර ඉතා බාල තත්ත්වයේ කොරෝනා ඇඳුම් කට්ටල ලබාදෙන බවට අමානුෂික ජාවාරමක තොරතුරුද මේ වන විට අනාවරණය වී ඇත.

වාර්තා වන ආකාරයට සෞඛ්‍ය අංශයේ සේවකයන් සඳහා ලබාදෙන කොරෝනා ඇඳුම් කට්ටල, ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් වෛරසයට ඔරොත්තු දිය හැකි මට්ටමේ තිබිය යුතු වුවත්, මේවන විට අනුරාධපුර, මීරිගම, කරාපිටිය සහ කරුණෑගල ආදී රෝහල් රැසකින් වාර්තා වන්නේ, ඔවුන්ට ලැබී ඇති කොරෝනා ඇඳුම් කට්ටල නුදුසුදු මෙන්ම භාවිතයට ගත නොහැකි මට්ටමේ ඇඳුම් බවයි.

මේ ඒ සම්බන්ධව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළ හෙද වෘත්තීය සමිති නායක එම්. එස්. බී. මැදිවත්ත සිදුකල අනාවරණය පහත වීඩියෝවේ දැක්වෙයි.

සෞඛ්‍ය සේව කාර්යමණ්ඩලයේ භාවිතය ගනු ලබන ආරක්ෂිත ඇඳුම් කට්ටලය, නියමිත සෞඛ්‍යාරක්ෂිත මුව ආවරණයක් සහිතව , ශල්‍යකර්ම සඳහා පමණක් භාවිතයට ගනු ලබන, සුවිශේෂී අත්වැසුම් හා ගුණාත්මක බවෙන් යුතු විශේෂිත රෙද්දකින් මසනු ලබන ඇඳුම් කට්ටලයකින් සමන්විත විය යුතුය.

පෞද්ගලික අංශයෙන් මිලදී ගනු ලබන මෙම ඇඳුම් කට්ටලය මිලදී ගැනීමේ දී, නියමිත ටෙන්ඩර් පටිපාටියකින් හා අදාළ සමාගම් විසින් සපයනු ලබන ඇඳුම් කට්ටල, සාම්පල් තාක්ෂණික කමිටුවක් මගින් අනුමත කළ යුතු අතර එම අනුමත කළ සාම්පලයට, 100%ක් සමාන PPE කට්ටල ටෙන්ඩලය ලැබූ සැපයුම්කරු විසින් සැපයිය යුතුයි.

එසේ සැපයුම්කරු විසින් ලබාදුන් සාම්පලයට අනුකූලව සැපයීම් කළ නොහැකි නම්, එම සමාගමට ලබාදුන් ටෙන්ඩරය අවලංගු කොට අදාළ තත්ත්වයන් සැපිරූ වෙනත් සමාගමකින් එම භාණ්ඩ ලබා ගැනීම සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය වෙයි.

මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සමඟ සැපයුම් ලබාදීම සඳහා, ලියාපදිංචි වී ඇති සමාගම් අතරින්, ආයතන දෙකක් විසින් සපයනු ලබන PPE ඇඳුම් සම්මත තත්ත්වයෙන් බැහැරව, ඉතා බාල තත්ත්වයෙන් සපයනු ලබන බවට, තොරතුරු හෙළිදරව් වී ඇත.

එසේම මෙම ආයතන දෙක ටෙන්ඩරය ඉල්ලුම් කරන අවස්ථාවේ ලබාදුන් සාම්පලවල ඇති ගුණාත්මක බව ඔවුන් විසින් සැපයුම් අංශය වෙත ලබාදෙන භාණ්ඩවල නොමැති බව ද තහවුරු වී තිබේ.

පසුගිය මාසය තුළ මෙම ආයතන දෙක සඳහා PPE ඇඳුම් කට්ටල ලක්ෂ 3ක් සැපයීමට ලබාදී ඇති අතර ඒ්වා භාවිතයට නුසුදුසු බව පවසමින් සෞඛ්‍ය සේවකයන් විසින් ප්‍රතික්ෂේප කරන නමුත් වගකිව යුතු කිසිඳු පාර්ශවයක් ඒ ගැන අවධානය යොමුකළ බවක් පෙනෙන්නට නැති බව සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් චෝදනා කරයි.

නමුත් මෙවැනි සිදුවීම් කොරෝනා මර්දන පළමු පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල චිත්ත ධෛර්ය හීනවීමට හේතුවන බව අවිවාදිතය. එබැවින් මෙවැනි චෝදනා සම්බන්ධව කාර්යක්ෂම ලෙස වගකිවයුතු පාර්ශව සොයා බැලීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වෙයි.