Language Switcher

V2025

ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයන් CID කැඳවීම ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් : චෝදනාවක් !

මාස දෙක හමාරකට ආසන්න කාලයක් වෘත්තිය අරගලයක යෙදී සිටින ගුරුවරුන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම ආණ්ඩුවේ සැලසුමක් අනුව කළ කුමන්ත්‍රණයක් බවට ගුරුවරුන් හා විදුහල්පතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති චෝදනා නගයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පොලිසිය භාර අමාත්‍යවරයා ගේ ප්‍රසිද්ධ තර්ජනයකින් පසුව මේ ආකාරයට ගුරු වෘත්තීය සමිති නායකයන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකාවක වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගුරුවරියකය.

ඒ ගුරු-විදුහල්පති සේවාවල පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමට බලකරමින් 2021 ජුලි 12 වැනි දින සිට සියලු ගුරු විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතව සිටින දින 71 ක කාලයක් ගතවෙන පසුබිමකය.

ගුරු වෘත්තීය අරගලයට දිගින් දිගටම විවිධ අවලාද නගමින් සිටින පොදු ජන අධ්‍යාපන සේවක සංගමය විසින් ආණ්ඩුවේ උවමනාව මත සිදු කරන ලද කුමන්ත්‍රණ ක්‍රියාවලියක් ලෙස ගුරු විදුහල්පතිවරු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හැදින්විය හැකි බවත් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

සැප්තැම්බර් 16 දින ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන පොදු ජන අධ්‍යාපන සේවක සංගමයේ පිරිසක් වර්ජනයට සහය නොදක්වන ගුරුවරුන්ට තර්ජනය කරන බවට සරත් වීරසේකර අමාත්‍යවරයාට පැමිණිල්ලක් සිදු කර තිබුනි.

ඉන් පසු සැප්තැම්බර් 17 වැනි දින සරත් වීරසේකර අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්, ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වමින් වර්ජනයට සහභාගි නොවන ගුරුවරුන්ට තර්ජනය කරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බව පැවසීය.

එසේම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් ප්‍රකාශ කළේය.

පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්කරලා !

මේ ආකාරයට ගුරු විදුහල්පති වෘත්තීය අරගලය උනුසුම් වන පසුබිමේ සිසු සිසුවියන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට අදාළ ව සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

එසේම අදාළ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාට ලබාදුන් බවත් ඔහු පැවසීය.

ඒ අනුව මතුව ඇත්තේ අවාසනාවන්ත තත්ත්වයකි. මේ මොහොතේ අවශ්‍ය ගුරු විදුහල්පති වෘත්තීය අරගලය සමග සමාදානයක් ඇතිකර ගෙන අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථක ලෙස ආරම්භ කිරීමය.