Language Switcher

V2025

ජාතික ධජය එක අතක - කළු කොඩිය අනෙක් අතේ : සිංහල ඩයස්පෝරාව ජිනීවාවේ !

ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙන් ඇරඹි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ල ඉතාලියෙන් ප්‍රංශයට , ප්‍රංශයෙන් ඇමරිකාවට පැමිණ පසුගියදා ජිනීවා වෙත සේන්දු විය.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් නීතිය හමුවට ගෙන ඒම, පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම , දේශපාලන විරුද්ධවාදීන් ඉලක්කකර දියත්කර ඇති මර්දනය ඇතුළු ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන පිළිවෙතට විරෝධය දැක්වීම මෙහිදීද සිදුවිය.

ශ්‍රී ලංකාව තුළ සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදීව තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන්නට නොහැකිව මර්දනයට මුහුණදී සිටින සහෝදර ජනතාව වෙනුවෙන් ඉතාලියේ වෙසෙන සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකියන් ප්‍රමුඛව සමස්ථ යුරෝපයේම ජනතාව එක්ව සිටින බවේ පණිවිඩය මේ හරහා නිකුත්වීම විශේෂය.

එසේම ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය,ඔස්ට්‍රියා හා ජර්මනිය ඇතුලු යුරෝපා රටවල් රැසකින් දැඩි අහිතකර කාළගුණික තත්ත්වය පවා නොතකා මෙකී විරෝධතා උද්ඝෝෂණය සඳහා සහභාගි වීමත් සුවිශේෂී සිදුවීමකි.

සිවිල් ක්‍රියාකාරීන්, නීතිවේදීන්, ලේඛකයන්, මාධ්‍යවේදීන්, විවිධ වෘත්තිකයන් මීට එක්ව සිටි අතර ඒ තුළ සිංහල දෙමළ මුස්ලීම් සියලු ජනකොටස් නියෝජනය විය.

ඒ අනුව මෙය ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙ , සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකියන්ගෙ යුරෝපා හඬ බවට විවාදයක් නැත.

ඒ බව තහවුරු කෙරුනේ සිංහල, දමිල, මුස්ලිම් සියලු අගම් නියෝජනය කරමින් , ආගමික නායකයින් පවා මෙම විරෝධතා උද්ඝෝෂණය සඳහා එක්වීම නිසයි.

මවුලවි වරුන්, බෞද්ධ භිභික්ෂුන්, කතොලික පූජක තුමන්ලා රැසක්ද රැස්ව සිටි පිරිස් වෙත අධිෂ්ඨානයෙන් එකමුතුව පාස්කු ප්‍රගාරයේ සත්‍ය සොයා යන ගමනට ආශිර්වාද කරද්දී, පැමිණ සිටි පිරිස් එක් හඬින් කියා සිටියේ තව දුරටත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය වසන් කරන්නේ නම් ජිනීවා වලින් නොනැවතී "හේට් යුධ අධිකරණය" දක්වා වුවත් මේ අවනඩුව ගෙනියන බවයි.

එසේම පක්ෂ පාට භේදයකින් තොරව අඛණ්ඩව විරෝධතා ක්‍රියාත්මක කරණ බවත් පැවසිණ.

ඉතාලියේ වෙසෙන වත්මන් ආණ්ඩුවේ හෙංචයියන් කීප දෙනෙක් සිටින " අටේ කල්ලිය සහ කුප්‍රකට කෝට් කල්ලිය" මෙවරත් උද්ඝෝෂණය සඳහා පිරිස සහභාගිවීම වැළැක්වීමට විවිධ කඩාකප්පල් ක්‍රියා දියත් කරත් ඒවා විශ්වාස කරන උදවිය ඉතාලියේ හිඟවෙමින් ඇත.

ජනතාව වෙත පාලකයන් ලබාදුන් ප්‍රධාන පොරොන්දු ඉටුකිරීමට බලකිරීම දේශද්‍රෝහි ක්‍රියාවක් නොව, සැබෑ පුරවැසි වගකීම බව මිනිසුන් විශ්වාස කරන්න ගෙන ඇත. මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ජිනීවා යාම තවදුරටත් කොටින්ට කඩේයාමක් ලෙස මිනිසුන් සලකන්නේ නැත.

දැන් එය සිය සහෝදර ජනතාවගේ අයිතිවාසිකම් රැකදීමට , ඒ වෙනුවෙන් ලෝකයේ අවධානය යොමුකිරීමට සහ ඒ හරහා ආණ්ඩුවේ මර්දන ක්‍රියාවලිය පාලනය කරවීමට කරන ශිෂ්ට සම්පන්න මැදිහත්වීමක් බව මිනිසුන් පිළිගනිමින් ඇත.

එනිසා , මැති ඇමතිලා ගේ හයියෙන් යුරෝපයේ පුරසාරම් දොඩවන, අගමැති ඉන්න හෝටලය වටේ කැරකෙමින් තේ සාදයක් ඉල්ලගෙන , හරි සර්, බුදු සර් ගාන, පම්පෝරිකාරයන්ව මිනිසුන් පිළිකුලෙන් බැහැර කරන්න ගෙන ඇත.

මේ හරහා කියාපාන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පසුබිම ස්ථාවර කිරීමට , වින්දිතයන්ට යුක්තිය ඉටුකර දීමට ඇතුළු ආණ්ඩුවේ මර්දනීය ප්‍රතිපත්තියට එරෙහි ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙ විරෝධතා උද්ඝෝෂණ රැල්ල ඉදිරියට තවත් සාර්ථකව නැගෙන්නට නියමිත බවය.

සුමුදු මද්දුමආරච්චි.

මිලානෝ,

ඉතාලිය.