Language Switcher

V2025

විශ්වාසභංගය ගෙනාවත් නැතත් : විධායකය අහෝසි කරනවා - ජවිපෙ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට කඩිනමින් ඉදිරිපත් වනවා නම් ඊට ඉඩදී ඉන් අනතුරුව ස්ථීරවම 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

විශ්වාසභංගයට කල්දෙනවා

එම පක්ෂයේ පැලවත්ත මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර එය විශ්වාසභංග යෝජනාවට පසුව ගෙන එන්නේ ඊට පෙර ගෙන ආ විට විශ්වාසභංග යෝජනාව අර්බුදයට යවන්නට ගෙන එන්නක් බවට චෝදනා එල්ල වන නිසා බවද මන්ත්‍රීවරයා පැවසීය.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

එහෙත් විශ්වාසභංග යෝජනාව කඩිනම් නොකළහොත් නිශ්චිත වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් විශේෂ දේශපාලන ව්‍යාකුලත්වයක් ඇතිව තිබෙන මේ පසුබිම රටේ මතුව තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය ප්‍රයෝජනයට ගෙන ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රහණයක් ලබාදීම වෙනුවෙන් පක්ෂය මෙම තීන්දුව ගනුලැබූ බවද ඔහු සඳහන් කරයි.

දේශපාලන ව්‍යාකුලත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රහණයක් ගෙන එමු

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, " මේ වන විට රටේ විශේෂ දේශපාලන ව්‍යාකුලත්වයක් නිර්මාණයවී තිබෙනවා. මෑත ඉතිහාසයේ මේ ව්‍යාකුලත්වය ප්‍රයෝජනයට අරගෙන තමයි ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ජයග්‍රහණ රැසක් අත්කර දෙන්න හැකිවුණේ. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී නීති ප්‍රතිසංස්කරණ, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සංශෝධන සිදුකරගන්න හැකිවුණේ මේ ව්‍යාකුලත්වය තුළයි.

ව්‍යාකුල දේශපාලන පසුබිමේ ගත් අතීත ජයග්‍රහණ

අපට මතකයි 2002 වසරේ චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමති පිරිසක් විපක්ෂයට ගිය අවස්ථාවේ රටේ දේශපාලන ව්‍යාකුලත්වයක් නිර්මාණය වුණා. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්වෙලා එම අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන 17 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරවන්න කටයුතු කළා.

නමුත් 2005 වසරෙන් පසුව මහින්ද රාජපක්ෂ පාලනය තුනෙන් දෙකක ශක්තිමත් දේශපාලන බලයක් ගෙන 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළා. ඒ හරහා 17 ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදයට අහිමි වුණා. ඒත් 2015 දී මතුවූ දේශපාලන වාතාවරණය ප්‍රයෝජනයට අරගෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න හැකිවුණා. මේ මොහොතේ පවතින ව්‍යාකුලත්වය ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රහණයක් කර ගන්නයි 20 ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න හදන්නේ.

20 සංශෝධනයට පිටුපාන්න මෛත්‍රීට බෑ !

94න් පසුව පැවති සෑම ජනාධිපතිවරනයකම ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් වුණේ මේ රටට හානිකර එක් පුද්ගලයෙක් අතේ අසීමිත බලයක් කේන්ද්‍ර වන විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමයි. නමුත් බලය ලැබූ පසුව ඔවුන් ඒ පොරොන්දුවට පිටුපෑවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති පදවියට පත්වීමට පෙර ලබාදුන් ප්‍රමුඛ පොරොන්දුවක් වුණෙත් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම. නමුත් දැන් ඒ ගැන කතාවක් නෑ. විධායක ජනාධිපති වූවාට පසුවත් ඔහු අවස්ථා ගණනකදී ඒ පොරොන්දුව දී තිබෙනවා. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිටත් ඒ පොරොන්දුව දුන්නා. ඒ නිසා අපේ උත්සාහය 2015 ජනවරම අනුව මේ සඳහා මැදිහත්වී විධායක ජනාධිපතිධුරය අහෝසි කරවීමයි.

මේ දේ ප්‍රධාන පක්ෂ දෙකෙන් බලාපොරොත්තු වන්න බෑ. ඔවුන් අවස්ථාවාදී දේශපාලනය තුළ තමන්ට අවස්ථාව ලැබෙනා පසුබිමක් පෙනෙන විට මෙය මඟ හරිනවා. දැන් සිදුවෙමින් තිබෙන්නෙත් එවැන්නක්.