ඉස්සරහට පරිප්පුත් නැති වෙයි : විමලේ වේලාසනින් කියයි !

ඉස්සරහට පරිප්පුත් නැති වෙයි : විමලේ වේලාසනින් කියයි !

ඩොලර් හිගය තීව්‍ර වුවහොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන් යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඔහු මෙසේ සඳහන් කර සිටියේ, කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැති ‘දේශීය පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ ධාරිතාව වැඩි කිරීම පිණිස නව ව්‍යවසායකයන් බිහිකිරීම වෙනුවෙන් දියත්කළ ව්‍යාපෘතිය’ යටතේ පුහුණුව ලැබූ කොළඹ දිස්ත්‍රික් පළමු ව්‍යවසායක කණ්ඩායමට සහතික පත්‍ර, උපකරණ හා අමුද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

දැන් අපි ඉන්නේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම, විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් ලැබුණු ආදායම අහිමි වීම, වාර්ෂිකව ගෙවීමට සිදුව ඇති ණය පොලී වාරිකයේ බර දරාගන්න බැරි මට්ටමකට ඉහළ යෑම යන අර්බුද මැද. මම දන්නා ආකාරයට ලබන වසරේ ජනවාරි වන විට අපි ගෙවිය යුතු විදේශ ණය වාරිකය ඩොලර් බිලියන හතක්. තවම අපි එක විදේශ ණය වාරිකයක් හෝ ගෙවීම පැහැර හැරලා නැහැ. ණය වාරිකය නොගෙවා පැහැර හැරියොත් ඒ රට ලෝකයේ අනෙකුත් රටවල් විසින් හඳුන්වන්නේ ‘බංකොලොත් රටක්’ හැටියට. අපි ඉන්ධන ඇතුළු බොහෝ දේවල් ඩොලර්වලින් ගෙවා රැගෙන විත් පරිභෝජනය කරනවා වැඩියි. නමුත් ලංකාවේ දේවල් නිපදවා පිටරට යවා ඩොලර් හොයනවා අඩුයි. එතකොට කොහොමද මේ ‘ඩොලර් බජට් එක’ හරි යන්නේ.

මේ හැම දේකටම අපට මුහුණ දෙන්න වෙන්නේ දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන බිහි කිරීම මගින් පමණයි. එමගිනුයි රටින් නිකරුණේ එළියට යන ඩොලර් ප්‍රමාණය ඉතිරි කර ගන්න පුළුවන් වෙන්නේ. අපි අපනයන වෙළෙඳපොළ ජය ගැනීමේ ප්‍රමාණයටයි මේ රටට ඩොලර් රැගෙන ඒමට පුළුවන් වෙන්නේ. රුපියල් නම් ඉතින් අච්චු ගහලා හරි හොයාගන්න පුළුවන්. ඩොලර් අපට අච්චු ගහන්න බැහැනේ. ඒ නිසා අපි තීරණාත්මක තත්ත්වයක් තුළ ඉන්න බව දන්නවා නම්, එය ඇත්තටම පිළිගන්නවා නම් අපට වෙන මාවතක් නැහැ ‘දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත’ හැර. අපට අපේ ආහාර ටික රට තුළ නිපදවා ගැනීමට හැකි විය යුතුයි. අපි පාන් සහ පරිප්පුවලට හුරු වෙලා. නමුත් මේ රටේ එක පරිප්පු ඇටයක් නිපදවෙන්නේ නැහැ. ඩොලර් හිගය තීව්‍ර වුවහොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන්. එවිට අපි හුරු වූ ජීවන රටාව අභියෝගයට ලක් වෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න