Language Switcher

V2025

අනුරගේ ප්‍රශ්නයෙන් : ආණ්ඩුවේ නිල සංචිත හෙළිවෙයි !

මෙරට සතු නිල විනිමය සංචිත සහ වත්කම් ප්‍රමාණය කොපමණ දැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක නගා තිබූ ප්‍රශ්නයකට අද (09) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දී තිබේ.

මන්ත්‍රීවරයා පසුගිය 03 වෙනිදා ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න කර තිබිණි. ආර්ථික හා මූල්‍ය රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ අද ලබා දුන් පිළිතුර අනුව පසුගිය නොවැම්බර් මාසය වෙන විට රට සතුව තිබූ නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1587ක් වී තිබිණි.

මෙයින් ඩොලර් මිලියන 382.2 ක් රත්රන් ලෙසද, විනිමය සංචිත ලෙස ඩොලර් මිලියන 1009.5ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තැන්පත්කර තිබෙන සංචිත ලෙස ඩොලර් මිලියන 67ක් මෙන්ම විශේෂ ගැනුම් හිමිකම් ඩොලර් මිලියන 127.2ක් තිබී ඇත. ඊට අමතරව අනෙකුත් විවිධ සංචිත ඩොලර් මිලියන 1.1ක් පැවති බව පාර්ලිමේන්තුවේදී හෙළිකර තිබේ.

අනුර දිසානායක මන්ත්‍රීවරයා නගා තිබූ ප්‍රශ්න සහ අදාළ පසුබිම සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු පහත දැක්වේ.

” ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මෑත වසර දෙකක කාලය තුළ වේගයෙන් කඩාවැටෙමින් ඇති බව නිරීක්ෂණය වන අතර එය තවදුරටත් හුදු ආර්ථික දත්ත හා තොරතුරු පිළිබඳ විද්වත් සාකච්ඡාවකට පමණක් සීමා වී නැහැ. මෙම විදෙස් සංචිත හිඟය මේ වන විට රටේ ජනතාවගේ ජීවිතවලට බලපෑම් කරන මට්ටමකට තීව්‍ර වී තිබෙනවා. අද වන විට බහාලුම් 1000කට වඩා අධික සංඛ්‍යාවක ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ කොළඹ වරායේ සිර වී ඇති බවටත් එම භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා බැංකුවලින් ආනයනකරුවන්ට ඩොලර් නිකුත් නොකරන තත්වයක් ඇතිවී තිබෙන බවටත් වාර්තා වනවා. විශේෂයෙන් බොර තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැති වීම නිසා දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වූ ඛනිජතෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ වන විට වසා දමා තිබෙනවා. මෙරට විදෙස් සංචිත හිඟය හුදු කොවිඞ් වසංගත තත්වය හේතුවෙන් සිදු වූවක් බවට අර්ථකථනය කිරීමට හැකියාවක් නැහැ. කොවිඞ් වසංගතය ගෝලීය තත්වයක්ව තිබියෙදීත් පොදුවේ ලෝකය තුළත් විශේෂයෙන් දකුණු ආසියාතික රටවල්වලත් විදෙස් සංචිත ප්‍රමාණයන් පසුගිය වසරක කාලය තුළ ඉහළ ගොස් තිබෙනවා. 2020 වසරේ දෙවන කාර්තුව හා 2021 වසරේ දෙවන කාර්තුව සලකා බැලුවහොත් ලෝකයේම විදෙස් සංචිතවල වටිනාකම පිළිවෙලින් ඩොලර් බිලියන 12,016.6ක සිට ඩොලර් බිලියන 12,817.19ක් දක්වා ඉහළ නැග තිබෙනවා. දකුණු ආසියානු කලාපීය රටවල් වන ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින පවා මේ වසංගත තත්වය තුළ තමන්ගේ විදෙස් සංචිත ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙනවා. නමුත් ඊට පරස්පරව යමින් ශ්‍රී ලංකාව වසර දෙකක කාලය තුළ තමන්ගේ විදෙස් සංචිත වේගයෙන් අහිමි කරගනිමින් සිටිනවා. නිදසුනක් ලෙස 2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ විදෙශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක අගයක් සටහන් කළ අතර එය මාස 4.5ක කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. එම සංචිත ක්‍රමයෙන් හීනවෙමින් පැමිණ 2021 ජනවාරි වන විට ඩොලර් බිලියන 4.8ක අගයක් සටහන් කරන ලද අතර එය මාස 3.7ක ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. කෙසේ වුවද පසුගිය ඔක්තෝබර් අවසන් වන විට එම සංචිත අගයන් තවදුරටත් කඩා වැටී ඩොලර් බිලියන 2.3ක අගයක් සටහන් කර තිබෙනවා. එම සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 1.5ක කාලයක් වෙනුවෙන් ආනයන සිදුකිරීම සඳහා පමණයි. මේ අගයන් සටහන් වන්නේ 2021 අගෝස්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙරටට ඩො.මි. 554.8ක විශේෂ මූල්‍ය පහසුකමක් (ීෘඍ) ලැබී තිබියෙදීයි. මහ බැංකුවේ නොවැම්බර් 26 දින නිකුත් කළ සති මූල්‍ය තත්ව වාර්තාවේ විදෙස් සංචිතයන්හි එම ශීර්ෂය යටතේ ඩොලර් මිලියන 128.5ක අගයක් පමණක් සටහන් වීමෙන් එයින් වැඩි කොටසක් දැනටමත් ඩොලර්වලට පරිවර්තනය කර තිබෙනවා විය හැකියි.

2021 ජනවාරි සිට සැප්තැම්බර් කාලය අතරතුර රටේ වෙළඳ ශේෂ හිඟය ඩොලර් මිලියන 6003.2ක් ලෙස සටහන් වෙනවා. මෙය ඔක්තෝබර් – දෙසැම්බර් කාලය අතරතුර තවත් ඉහළ යා හැකියි. එසේම මෙම අවදානම් තත්වය මෑත ඉතිහාසයේ රටේ ගෙවුම් ශේෂයේ හිඟයක් නිර්මාණය කිරීමට තුඩු දිය හැකියි. 2022 වසර තුළ ශ්‍රී ලංකාව විසින් විදේශ ණය පියවීම සඳහා පමණක් ඩොලර් මිලියන 6500ක් වෙන් කළ යුතුව තිබෙනවා. යම් යම් මාසයන්හි අඩු වැඩි වීම් ඇති වන නමුදු දළ වශයෙන් එක් මාසයකට විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 550ක් වෙන් කිරීමට රටට සිදු වනවා. 2021 වසරේ ජංගම ගිණුමේ හිඟය සහ විදෙස් ණය පියවීමේ බැඳීම්ද 2022 වසරේ මුල් භාගයේ ඇති විදෙස් ණය පියවීමේ බැඳීම්ද සමගින් දැනටත් අවදානම් මට්ටමක ඇති රටේ ගෙවුම් ශේෂය මෙමගින් තවත් අර්බුදයට ඇද දැමිය හැකියි. පසුගිය දෙවසරක කාලය තුළ විදේශ විනිමය සංචිත වේගයෙන් කඩා වැටෙමින් තිබියෙදී ආණ්ඩුව මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවට චෝදනා නැගෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ මහ බැංකු අධිපතිවරයා විවිධ තැන්වලදී විදේශ විනිමය රට තුළට ගලා ගෙන ආකාරය පිළිබඳව සුබදායී සිතුවම් අඳිමින් සිටියත් මේ වන විට ඇත්ත යථාර්ථය වෙනස් එකක් බව සියලු දෙනාට වටහා ගැනීමට අසීරු නැහැ. එසේම මේ වන විට රටට ඩොලර් ලැබෙන ප්‍රධානම මූලාශ්‍රවලින් එකක් වන විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු සංක්‍රාම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාස 05ක කාලයක් පුරා වේගයෙන් පහළ යමින් තිබෙනවා. නිදසුනක් ලෙස 2020 ජුනි – ඔක්තෝබර් කාලයේ සමස්ත සංක්‍රාම වටිනාකම ඩොලර් මිලියන 3274ක් වූ නමුත් මේ වසරේ ජුනි – ඔක්තෝබර් කාලයේ ඔවුන්ගේ සංක්‍රාම ප්‍රමාණය ඩොලර් මිලියන 2048ක් පමණයි. එය ප්‍රතිශතාත්මකව ගතහොත් 37.5%ක් පමණ කඩා වැටීමක්. මෙම අඩුවීමේ ප්‍රවණතාව නිරීක්ෂණය කළහොත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සංක්‍රාම මගින් ලැබීමට නියමිත මුදල 50%ට වඩා අඩුවිය හැකියි. මේ තත්වය තුළ මහ බැංකුව විසින් බලහත්කාරයෙන් බැංකුවල ඩොලර් අනුපාතිකය රුපියල් 202 ආසන්නයේ රඳවා තබාගෙන සිටියද එම මුදලට ආනයනකරුවන්ට ලබා දීමට වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් ඩොලර් නැහැ. ඩොලරයක් බැංකුවලට පිටින් එළියේ අලෙවි වන්නේ රුපියල් 240-260 අතර වටිනාකමකටයි. මෙවැනි ඉහළ වටිනාකමකට ඩොලර් මිලදී ගෙන භාණ්ඩ අනයනය කිරීමට ආනයනකරුවන් ඉදිරිපත් නොවන නිසාත්, විශේෂයෙන්ම බැංකු මගින් නිකුත් කළ ණයවර ලිපි අනුව මේ වන විටත් ආනයනය කර ඇති භාණ්ඩවලට අදාළ ඩොලර් ලබා දීමට බැංකු අසමත් වී ඇති නිසාත් බරපතළ භාණ්ඩ හිඟයක් රට තුළ නිර්මාණය වෙමින් තිබෙනවා.

මෙම තත්වය තුළ මතුවන පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

  1. පසුගිය නොවැම්බර් මාසයේ 30වැනිදා වන විට විදෙස් විනිමය සංචිතයේ සත්‍ය වටිනාකම ශීර්ෂ අනුව වෙන්වෙන්ව කොපමණද? මහ බැංකුව සතු ක්ෂණිකව ගෙවීම් සඳහා භාවිත කළ හැකි විදෙස් විනිමය ප්‍රමාණය කොපමණද?
  2. රටේ විදෙස් විනිමය සංචිත ඉහළ නැංවීම සඳහා ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද? ඒ සඳහා වන කාලරාමුව කවරේද?
  3. 2021 වසරේ ජංගම ගිණුමේ හිඟය පියවීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන්නේ කවර ක්‍රියාමාර්ගයක්ද?
  4. කොළඹ වරායේ ගොඩගැසී ඇති ආනයනය කරන ලද අත්‍යාවශ්‍ය භාණ්ඩ බහාලුම් නිදහස් කිරීම සඳහා බැංකුවලට ඩොලර් ලබා දීමට පියවර ගන්නේද? ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය කුමක්ද? ඒ සඳහා වන කාලරාමුව කවරේද?”
  5. lanka truth