Language Switcher

V2025

කෙහෙළියගේ වතුර බිල ලක්ෂ 18 පැනලා : ඒත් අඛණ්ඩ ජල සැපයුමක් !

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පදිංචිව සිටින නිල නිවසේ පාවිච්චි කර ඇති ජල බිල්පත්වල හිඟ එකතුව රුපියල් ලක්ෂ 18ක් හෙවත් රුපියල් 1,845,670.93 ක් බව වාර්තා වේ.

එහෙත්, ඔහුගේ හිඟ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් පියවර ජල සම්පාදන මණ්ඩලය ගෙන නැත.

මෙම හිඟ මුදල සෞඛ්‍ය අමාත්‍යවරයා පදිංචි වී සිටින 400/52 එම්, බුලර්ස් පාර, කොළඹ 07 දරණ නිල නිවසේ 2018 වසරේ ජනවාරි මාසයේ සිට 2021 වසෙර් ඔක්තෝබර් මාසය තෙක් ගෙවා නොමැති හිඟ මුදල වේ.

රඹුක්වැල්ල මහතා පදිංචි නිල නිවසේ 2021 සැප්තැම්බර් මස 19 වන දිනට නිකුත් කර ඇති ජල බිල්පත අනුව එම මසට අදාලව ගෙවිය යුතු මුළු මුදල 84,186.43ක් වේ.

ඒ අනුව 2021 ඔක්තෝබර් 18 දිනට නිකුත් කර ඇති ජල බිල්පතේ එම මසට අදාලව ගෙවිය යුතු මුළු මුදල ලෙස 66,948.87 ක් සදහන් වී ඇත.

ඔහුගේ මාසික ජල පරිභෝජනය රුපියල් 50,000 ඉක්මවූ සාමාන්‍යයක් ගෙන ඇත.

මෑත කාලයේ ගුරුවරුන් මාස ගණන් වර්ජන කරමින් තමන්ට මාසයක් ජීවත් වීම සඳහා සාධාරණ වැටුපක් ඉල්ලා සිටියේය. සාමාන්‍යයෙන් නවක ගුරුවරයෙක් ඉල්ලූ වැටුප වැඩි වුණත්, ඔවුන් ලබන මාසික වැටුප ද කෙහෙළිය රඹුක්වැල්ලගේ මාසික වතුර පරිභෝජනයට අඩුය. එහෙත් වැටුප් ඉල්ලූ ගුරුවරුන්ව ‘කාලකණ්ණි’ කියා ලේබල් කිරීමට කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුබට නොවීය.

අදාල නිල නිවසේ ජල බිල්පත් 2018 වසරේ අවස්ථා 4ක ගෙවා ඇත. 2019 වසරේ අවස්ථා 3 කදී පමණක් හිඟ ජල බිල්පත් ගෙවා ඇත. එහෙත් 2020 /2021 වසරේ කිසිදු අවස්ථාවක හිඟ ජල බිල්පත් ගෙවා නැත.

ඒ අනුව අපට පැනනැගෙන ප්‍රශ්නයක් වන්නේ ඔහු නිවසේ මෙතරම් ජලය නාස්ති වෙන ආකාරයට කුමක් කරනවාද යන්නය. ජලය බෝතල් කරනවාද? වාහන සර්විස් එකක් කරනවාද? නැත්නම් ස්විමිං පූල් ඇතුළු සුඛෝපභෝගී පහසුකම්වලට නාස්ති කරනවාද?

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවසේ නොගෙවූ ජල බිල්පත් පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඉහළ නිලධාරීයෙකුගෙන් ‘සටහන්’ විමසීමක් කළ අතර එම නිලධාරියා පවසා සිටියේ අදාල කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවසේ හිඟ ජල බිල්පත පිළිබඳව මේ වන විටත් රතු නිවේදන දෙකක් යවා ඇති බව පැවසීය.

අදාල කාරණය පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කර ඇති බවත් ඉදිරියේදී ඒ පිළිබඳව පියවර ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය. ඔහු වැඩිදුරත් කීවේ මෙලෙස පවතින හිඟ බිල්පත්වලට සීයට දෙකහමාරක දඩයක් එකතු කරන බවත් මෙම බිල්පතටද එය එකතු කර ඇති බවත් ඔහු. පැවසීය.

කෙසේ වෙතත් ඉන් එහාට ජලය විසන්ධි කිරීම හෝ වෙනත් තීරණාත්මක පියවරක් ජල සම්පාදන මණ්ඩලය ගෙන නැත. සාමාන්‍ය පුරවැසියන්ගේ ජල බිල්පත් නොගෙවූ විට කපා දමන කාලයක ඇමතිවරුන්ට මෙවැනි වරප්‍රසාද හිමි වීම විශේෂත්වයකි.

මෙවැනි ඇමතිවරුන්ට ජල බිල්පත් ගෙවීම සඳහා රජයෙන් ලැබෙන දීමනාවට වඩා ජලය පරිභෝජනය කළහොත්, එම වියදම් අතින් දැරිය යුතුය. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් මෙවැනි මැති ඇමතිවරුන් බිල්පත් නොගෙවා දිගින් දිගටම කල් අරින බවත්, දේශපාලන බලය පාවිච්චි කරමින් ජල බිල්පත් නොගෙවා දීර්ඝ කාලයක් සිටීමට ඇතැම් දේශපාලනඥයන් පුරුදු වී සිටින බවත් අප සමඟ අදහස් දැක් වූ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියෙකු කීය.

satahan.blog රේඛා නිලුක්ෂි හේරත්

https://satahan.blog/2021/12/15/keliya-water-bill/