Language Switcher

V2025

තොරතුරු කොමිසමෙන් : ආචාර්ය අතුල සිරි සමරකෝන් ඉල්ලා අස්වෙයි !

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා සාමාජිකත්වයෙන් ආචාර්ය අතුලසිරි සමරකෝන් ඉල්ලා අස්වී තිබේ.

වාර්තා වන ආකාරයට සිය ඉල්ලා අස්වීමට හේතු දක්වමින් ලිපියක් යොමුකිරීමටත් ආචාර්යවරයා කටයුතු කර ඇත.

පහත දැක්වෙන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම නම් කිරීම සමග ඒ සම්බන්ධයෙන් මංජුල ගජනායක සිය ෆේස්බුක් ගිනුමේ තැබූ සටහනකි.

මරුවා සමඟ වාසේ !!

මා කලෙක පටන් මැතිවරණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මකව පැවති කල සිට ම මැතිවරණ කළමනාකරණ බළධාරීන්, දේශපාලන පක්‍ෂ හා පවත්වන සාකච්ජා සඳහා සහභාගී වුවෙක්මි. ඒ මැතිවරණ නිරීක්‍ෂණ ආයතන ප්‍රධානියෙක් ලෙසිණි. එවන් එක් අවස්ථාවක මඳක් හුරුපුරුදු අදහසක් සුපුරුදු හඬකින් ඇසුවෙමි. ඒ මහින්ද දේශප්‍රිය මහත්මාගේය. දිනෙන් දින ඉතා අශෝභන ලෙස කල්යන පළාත් පාලන ජන්ද විමසීම පිළිබඳ දේශපාලන පක්‍ෂ නායකයෙකුගේ විමසුමකට දුන් පිළිතුරක අන්තරගතය සඳහා ඔහු යොදාගත් එක් පිරුළක් වූයේ මහා ඇලෙක්සැන්ඩර් Gordian ගැටේ ලිහුවා වගේ තමයි දැන් මේක විසඳන්න වෙන්නේ කියාය. ගෝඩියන් ගැටේ ගැන අසා තිබුණද එහි ප්‍රායෝගික යථාර්තය වැටහුණු පළමු අවස්ථාව එය විය. පෙරදින එනම් දෙසැම්බර් මස 11 වැනිදින ප්‍රකාශිත තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ අභිනව සාමාජිකයන් පිරිස දෙස බැලූ කල ද මට නිරායාසයෙන් සිහිවුයේ මෙකී සංසිද්ධියයි.

මෙකී කොමිෂන් සභාව පිළිබඳව අප තුළ මැවී ඇති මනස් චිත්‍රය දීප්තිමත් එකක් වුවද එය මකුළු දැලක දිසි ජාලගත සංකීර්ණතාව ද සහිත එකක් යැයි නොසිතෙනවා නොවේ. එය මහින්ද දේශප්‍රිය මහතාගේ බසින්ම කියන්නේ නම් තක්කාලි සම්බෝල හා බෝල්ට් ඇන වැනි අබුද්දස්ස සම්මිශ්‍රණයකි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා සැබවින්ම සුහුරු බවක් දක්වන්නේ ''සිස්ටම් චේන්ජ් කිරීම'' ට නොව ඕනෑම සංකීර්ණ කලෙක කවර පුරවැසියෙකු හෝ තුළ ශේෂව පැවතිය හැකි අවසන් දේශපාලන සත්තාව හෙවත් ප්‍රතිෂ්ඨාව වුව නැතිභංගස්ථාන කිරීමට යැයි යෝජනා කිරීමට මා කැමැත්තෙමි. ඔහු තුළ පළාත් පාලන සභිකයෙකු සතු අවම දේශපාලන පරිචය හෝ පැවැත්තේ නම් ඔහු කිසිවිටෙක මෙලෙස පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නේ නැත.

අභිනව කොමිසම මෙපරිදිය. විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න, ජගත් ලියනාරච්චි, කිශාලි පින්ටෝ ජයවර්ධන, විශ්‍රාමික විනිසුරු රෝහිණි වල්ගම සහ ආචාර්ය අතුලසිරි කුමාර සමරකෝන්. මෙහිලා ජගත් ලියනාරච්චි මාර්තු 12 ව්‍යාපාරයේ හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නාම යෝජනාව වූ අතර ජගත් සැබවින්ම තොරතුරු දැන ගැනීමේ පනත තම දිවියේ ඓන්න්ද්‍රිය අංගයක් සේ සලකන සුලවතෙකි. කිශාලි යනු පළමු කොමිසමෙහි බර කරට ගත් දිරිමත් කතයි. ඇය මෙරටේ තොරතුරැ පනතට පණදුන් මුලාරම්භක අවස්ථාව වූ වසර 2002 දී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්ව සකස්කළ ධවල පත්‍රිකාවට ද දායකත්වය දී තම නම ඉතිහාසයට එක්කල තැනැත්තියයි. ඇයගේ පුර්ව යෝජකයා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වුවද මෙවර ඇය පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ආශිර්වාදයෙනි. ඊට සමගාමීව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද ඇතුළත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය රෝහිණි වල්ගම විනිසුරුවරිය වෙත තම විශ්වාසය පළකොට ඇති අතර සැබවින්ම වල්ගම මැතිණිය පෙර කොමිසමෙහි ද සුවිසල් කාර්යභාරයක් සිදුකරන ලද නිහඬ චරිතයකි. ආචාර්ය අතුල සමරකෝන් උදෙසා සහය පළකොට ඇත්තේ සමාජ යුක්තිය සඳහා වූ ජාතික ව්‍යාපාරයයි (NMSJ). අතුල යනු බහුතර නිද්‍රාශීලී නිවට සරසවි ඇදුරු ප්‍රජාවක් මැද තම ශාස්ත්‍රාලීය පරිචය කිසිදින උගසට නොතැබු දීප්තිමත් සමාජ මඟ පෙන්වන්නෙකි. සමාජ යුක්තිය හා සමාජ ප්‍රතිසංස්කරණ උදෙසා පසු නොබා, පිටු නොපා පෙරට යන ඔහු දිදුලන ආවේගයක් සහිත සමාජ ක්‍රියාකාරිකයෙකි. මෙවන් සිව්දෙනෙකුන්ගේ නාම යෝජනා පිළිකෙව් නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා එහිලා පළකොට ඇත්තේ නිවුණු හා දැහැමි පිළිවෙතකි. එවන් ආධ්‍යාසයක් පළකළ ඔහුට අපගේ ආචාර සම්මාන හිමිය.

මාරක ළිඳේ ක්‍රීඩාව ඇරඹෙන්නේ දැන්ය. අර සිව්දෙනාගේ නායකයා උපාලි අබේරත්න මහතාය. ඔහු ජනාධිපතිවරයාගේ මෑත කාලීන පත්කිරීමක් වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ හිටපු සභාපතිවරයා වේ. එපමණක් ද නොව ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූ තැනැත්තන්ගේ කාර්යාලයේ සභාපතිය. එහිලා එක රටක් - එක නීතියක් හා සබැඳි කොමිසම ගලගොඩඅත්තේ ඥානසාර වෙත පිදූ ස්වරූපයද එක පෙළට විමසා බලන කල එළඹිය හැකි නිගමනයක් ඇත්තේය. එනම් ''දුවන බල්ලන්වෙත උම්බලකඩ පොලු වලින් දමා ගැසීම'' දැන් දැන් ජාතික ප්‍රතිපත්තියක් බවට පත්ව ඇත්තේය යන්නයි.

දැන් එක්කෝ ක්‍රිස්තු පුර්ව 333 දී පමණ මහා ඇලෙක්සැන්ඩර් පර්සියාවේ අගනගරය වෙත පැමිණ තම කගපත ළෙලවා රණශුරත්වය හා අධිරාජ්‍යත්වය තහවුරු කරනුවස් ගෝඩියන් ගැටය සැණෙකින් එහෙත් නොසිතු පරිදි ලිහුවේ යම් සේද, එක්කෝ ඉහත සාමාජිකයන් සිව්දෙනා තම අභිනව සභාපති හා සහවාස ගණුදෙනුවක් වෙත ගොස් ඔහුගේ ආත්මගත සෙයියමානය බිඳිය යුත්තේය. එසේත් නැත්නම් පෙර කොමිසමද හෙබවූ සුවිශිෂ්ඨ ශ්‍රී ලාංකේය පුරවැසි එස්. ජී. පුංචිහේවා මහත්මා සේ තම ඉල්ලා අස්වීම පෙරළා භාරදිය යුත්තේය. ඒ වරක් තම නම මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යැවුණු මොහොතේය.

මෙහිලා අපගේ යෝජනාව නම් වනයේ ලා කෙටුවද, කුල්ලේ ලා පෙලුවද, අච්චුවේ දා මැකුවද කිසිදා වෙනස් නොවන ඇත්තන් හලා පසුබැසීම කිසිදු ප්‍රගතියක් නොදිසි ප්‍රතිපත්තියක් බැවින් මොවුන් සිව්දෙනා කැත්තෙන් හෝ පොල්ලෙන්, එසේත් නොමැතිනම් කෙක්කෙන් හෝ කොක්කෙන් ප්‍රශ්න විසඳා ගැනීමේ මාවතක් වෙත අවතීර්ණව, කොමිසමෙහි ම රැඳී පුරවැසියා තෘප්ත කල යුතු බවයි.

කුමරතුඟු මුනිදසුන් තම කුමාරෝදයෙහි දී සද්දන්ත අලියා පෙරලුවේ කටුස්සා ලවා බැවින් සභාපති හා සමවාසය අවැඩක් නොවේ යැයි අපට නොසිතෙනවා නොවේ. මාගේ බිරිඳගේ පාසලේ ආදර්ශ පාඨය 'මඟ හරින්නෝ මඟ හැරෙති'' යන්නයි. එබැවින් තොරතුරු කොමිසමේ සාමාජිකයන් සිවුදෙනා හට ඇත්තේ මාරක ලිඳේ පතුල පෙණෙන නොපෙණෙන මානයේ වක්කලන් ගැසීම වන අතර එය බලන පුරවැසියෝ සිතනු ඇත්තේ ඔවුන් විනෝද ක්‍රීඩාවක් සඳහා එක්ව ඇතැයි යනුවෙනි. ඔවුන් අපට අපට විනෝදය සපයනු ඇත්තේ තම සමස්ත ආත්මයම සංත්‍රාසයට පත්කර ගනිමිනි.

අවසන සටහන් කල යුතු වෙසෙස් කරුණු දෙකකි. එකක් උපාලි අබේරත්න මහතාගේ නම් යෝජනා කල පාර්ශව හෝ පාර්ශවය කවුරුන්ද යන්නයි. (සොයාගෙන සම්මානයක් දියයුතු නොවැ). අනෙක් කරුණ නම් රජයේ සුවිශේෂී තනතුරක් දරමින් මෙහි රැඳීම ළබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය නොකරන්නේද යන්නයි. කරුණු මෙසේ පෙළ ගැසෙන්නේ නම් මතු යම් දිනෙක තොරතුරු කොමිසමට සිදුවනු ඇත්තේ හොරාගේ අම්මගෙන් පේන ඇසීමටය. වසර 2008 දී පමණ මා යම් කලක් ඉන්දියාවේ රැඳෙමින් තොරතුරු දැනගැනීමේ ඉන්දියානු ආදර්ශය පිළිබඳව හැදෑරුවෙමි. අපගේ උපදේශකයා වූයේ RTI ගුරු සුප්‍රසිද්ධ වෙන්කටේස්ය. එහිදී අප ධාරණය කරගත් එක් සත්‍යයක් නම් ඉන්දියාවට තොරතුරු දැනගැනීම ආගමක් හා සම විප්ලවීය සමාජ යාන්ත්‍රණයක් බවයි. ඊට සමගාමිව ලංකාවේ තොරතුරු අනාවරණය යනු ව්‍යාජ දේශප්‍රේමීන්ට අනුව NGO ව්‍යාපෘතියක් වන අතර එය හැකිතාක් පාගා දැමීමේ ප්‍රබල සිතිවිල්ලෙන් කල්ගෙවන පිරිස දාමරික හා ඕලාරික හැසිරීමක් සහිත සුළුතරයක් වූ රජයේ නිළධර පැලැන්තියයි.

දැන් මම ඔබෙන් අසමි.ඔවුන් හා උපාලි අබේරත්න අභිමුඛ වීම මනාලයෙක් හා මනාලියක් එක්ව පවත්වන මධුසමයක් විය නොහැකිද?

මංජුල ගජනායක