Language Switcher

V2025

දෙකෙන් එකක් බේරගන්න - බැසිල්ගේ ගෝලයන් බහියි : මෛත්‍රීට දැවැන්ත ප්‍රහාරයක් !

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉකුත් ජනාධිපතිවරණයේ දි කකුල් දෙකම දෙපැත්තේ තබාගෙන කටයුතු කළ බවත්, කිසිදු කාර්යයක වගකීම ‌බාරනොගෙන එය විවිධ පුද්ගලයන් පිට පැටවීමේ ක්‍රියාදාමයක නිරතව සිටින බවත් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අදහස් දක්වමින්,

“අද දවසේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එකට එකතුව අපිත් එක්ක දේශපාලන වශයෙන් සන්ධාන ගත වුණා. ඊට පසුව වසරකුත් මාස 04 ට පසු මහා මැතිවරණය පවත්වලා එතුමා රට වටේ යමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට විවේචන, චෝදනා එල්ල කරමින් යනවා.

ඒ වගේම ඊයේ දවසේදී එතුමා ප්‍රකාශ කළා අපි එතුමාගේ පිටිපස්සෙන් ආවා කියලා. එසේම එතුමාගේ සහයෝගය නැතිව ජයග්‍රහණය කරන්න හැකි වෙන්නේ නෑ කියලා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණයේ දි කකුල් දෙකම දෙපැත්තේ තියාගෙන තමයි කටයුතු කළේ. ඒ වගේම මහ මැතිවරණය අපි ජයග්‍රහණය කරාට පස්සේ එතුමා නැවත නිදහස් පක්ෂයේ සභාපති ධුරය භාර අරගෙන අපිත් එක්ක මහ මැතිවරණය ඉල්ලන්න කටයුතු කළා. එතුමාගේ කාලයේ කිසිම වගකීමක් භාර ගන්නේ නෑ. කාටහරි වගකීම චෝදනාව එල්ල කරමින් තමයි එතුමා කටයුතු කරන්නේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය මේ රටේ වෙද්දී එතුමා මේ රටේ ජනාධිපති, පොලිස්සියේ විෂය භාර ඇමතිවරයායි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ එතුමාගේ විෂය පථයට අයත් කාලයක් තුළයි. එතුමා එක දශමයක වගකීමක්වත් ගන්න තරම් නිහතමානි වෙලා නෑ. හැම එකක්ම පටවන මානසිකත්වයේ ඉන්නේ. ඒනිසා අපි මේ රටේ නැති කරන්න ඕනේම ඔය දේශපාලනයයි. තමන් තනතුරක් දරන කාලයක සිදුවන ක්‍රියාකාරකම්වලට යම්කිසි හෝ වගකීමක් ගන්න නිහතමානි වෙන්න කියලා අපි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අපි පවුලක් වුණත් මෙහෙම යන්න පුළුවන්කමක් නෑ කියන එකත් මතක් කරන්න ඕන. ඒ නිසා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවර දේශපාලන කඳවුරක් වන ඉතාම කෙටි කාලයකින් ආණ්ඩු බලය ලබා ගත්තා. අපි ලෝකය එක්ක සන්සන්දනය කරද්දි එන්නත්කරණයේදී අපි සාර්ථක රටක්. ඊයේ දිනයේදි සියලු පාසල් ආරම්භ කළා. අද නැවතත් රටේ ආර්ථකය පනගන්වලා තිබෙනවා. රටේ ආර්ථිකයට උත්තේජනයක් ලැබිලා ආර්ථික ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. මේ සියල්ලම සිද්ධ කරන්න අපිට හැකියාව ලැබුණේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්, අග්‍රාමාත්‍ය තුමාගේ නායකත්වයෙන් සහ සියලුම ත්‍රිවිධ හමුදාව , සෞඛ්‍ය අංශයේ සහයෝගය නිසායි. මේ එන්නත්කරණය හරියාකාරව ඉෂ්ඨ කරන්න බැරි වුණා නම් අද මේ රටේ තත්වය මීට වැඩිය වෙනස් තත්වයකට පත්වෙනවා කියලා කියනවා.”

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට කියන්න කැමති ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වගකීම වෙනකාටවත් භාර දෙන්න එපා. ඒක ඔබතුමාම භාර ගන්න……….

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න අදහස් දක්වමින්,

“ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වන විට එහි පෙරටු නායකයින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණටත්, වර්තමාන ආණ්ඩුවටත් අතිශයෙන් නිර්දය ලෙස පහාර දීමක් සිදු කරමින් පවතින බව අපි දකිනවා.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට කියන්න කැමති ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වගකීම වෙනකාටවත් භාර දෙන්න එපා. ඒක ඔබතුමා භාර ගන්න. 75% ක් තිබුණු පළාත් පාලන ආයතනවල බලය තිබුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටයි. ඔබතුමයි ඒ පළාත් පාලන ආයතන විසුරුවලා අවුරුදු 03 ක ඡන්දය කල්දාලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මූලික මූලයන් බිම් මට්ටමේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය විනාශ‍ කළේ . ඒ වගේම පළාත් සභා මන්ත්‍රි ව්‍යුහයේ ජ්‍යෙෂ්ඨයන්, ජනප්‍රියම දේශපාලන චරිත ඉවත් කරලා ඊට පසුපෙළ හිටපු කණ්ඩායමට දේශපාලන අවස්ථා නිර්මාණය කරන්න ගිහිල්ලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ව්‍යුහය නැති කළේ ඔබතුමයි. ඔබ දිගින් දිගටම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විනාශ කිරිමේ වගකීම වෙන කාටවත් පවරන්න එපා. ඒක ඔබතුමා භාර ගත යුතුයි. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නුවරඑළිය පස්වෙනියා. කළුතරින් නිදහස් පක්ෂයට ඡන්දය ලැබුණේ 10,979 යි. අනුර කුමාර මහතාගේ පක්ෂයත් ආවා ඊටත් වඩා උඩින්. ඒ නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විනාශ කර දැමීම සම්බන්ධව ඒ ඓතිහාසික වරද මම ඉතාම පැහැදිලිව සාධක සහිතව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ඉදිරියේ තියනවා. ”

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි මිලාන් ජයතිලක අදහස් දක්වමින්,

“අද මේ රටේ විශාල අර්බුදයක් අපි උපරිමයකට ජයග්‍රහණය කළ මොහොතක්. අපිට ලොකු අභියෝගයක් තිබ්බා අවුරුදු 02 ක් මේ රටේ කොරෝනා වසංගතයෙන් මුදවා ගන්න. අතිගරු ජනාධිපතිතුමා ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන ගියා. ඒ තුළින් අපිට ‍කොරෝනා වසංගතය ජයගන්න හැකිවෙලා තිබෙන මොහොතක මේ රටේ ආර්ථිකය ජයගන්න වැඩපිළිවෙළ ආරම්භ කරලා තිබෙනවා. මේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරන මොහොතේ හැමදාම සුපුරුදු පරිදි මේ හැම මොහොතකම විනාශකාරි වැඩපිළිවෙළක් කරන කණ්ඩායමක් සිටිනවා ආණ්ඩුව ඇතුළේ. ඒ කණ්ඩායම් වලින් ප්‍රබලම පුද්ගලයා තමයි මෛත්‍රිපාල සිරිසේන ඇතුළු කණ්ඩායම.

දැවැන්ත රුක්ෂයක් තිබුණු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණව බිමට ඇඳ වට්ටන්න කඳ පණුවගේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයයි. ඒ විතරක් නොවේ අද වන විට මේ පොදුජන පෙරමුණ අපි හදපු දැවැන්ත පක්ෂය විනාශ කරන්න පුළුවන්ද කියලා මේ කදපණුවා බලනවා. හැබැයි මේ කදපණුවට කියනවා මේ පහුගිය වතාවල් ඒ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කළා වගේ ලැස්තිවෙන්න එපා මේ වැඩේට. මේ රටේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂය කියන්නේ ප්‍රබල පක්ෂයක්.

අපිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඔය දෙපැත්ත කන දෙපිටිකාට්ටුවෝ එකෙක් නැතත් අපිට මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා දේශපාලන වශයෙන් අතරමංවෙලා හිටියේ. ඔවුන්ට දැඩි අවධානමක් තිබ්බා ඔවුන්ගේ රැකවරණය අහිමි වෙලා තිබුණු මොහොතක තමයි අපි පොදුජන පෙරමුණ පක්ෂය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා නිර්මාණය කරලා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ. ඒ හින්දා තමයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයටත් මේ රටේ මේ වන විට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් පරිසරයක් හැඳුනේ පොහොට්ටුව මේ රට ජයග්‍රහණය කරපු නිසා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමනි මේ රටේ ජනතාව ඔබතුමාව පිළිගන්න නැති තත්වයට පත්වෙලා ඉවරයි.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට අද කලදුටු කල වල ඉහ ගන්න හදන න්‍යායට එන්න හදන්නේ. ඔවුන් හිතන්නේ බඩු මිල වැඩිවෙනකොට ගෑස් වල ප්‍රශ්නය එනකොට මේක සාදාකල් ප්‍රශ්නයක් බවට මේ රටේ පත්වෙයි කියලා. අපි ඉතාම කඩිනමින් මාස කිහිපයක් ඇතුළත මේ රටේ ජනතාවගේ අතවශ්‍ය භාණ්ඩ සහ මේ ගෑස්වල ප්‍රශ්නය සම්පූර්ණව විසඳන්න කටයුතු කරනවා. අපි කොරෝනා වසංගතයෙන් මේ රටේ ජනතාව බේරගෙන මේ රටේ ආර්ථිකය නැවත ඔසවන්නට වැඩපිළිවෙළක් සකස් කරලා ක්‍රියාත්මක කරනවා. එය බලාගෙන ඉන්න බැරි කුහක දේශපාලඥයෝ අද පිටිපස්සේ ඇවිත් පිහියෙන් අනින්න හැදුවට මේ වැඩපිළිවෙළ අසාර්ථක කරන්න අපි දෙන්නේ නෑ.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් අදහස් දක්වමින්,

අපි දැක්කා මෛත්‍රිපාල හිටපු ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවට, අපේ වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති විවේචනය කරනවා. එතුමාට කියන්න කැමති ආණ්ඩුවවේ ඇතුළේ ඉඳලා මේ වගේ විවේචනය කරනවාට වඩා හොඳයි ආණ්ඩුවෙන් එළියට ගිහින් විවේචනය කරා නම්. අද කාදිනල්තුමාත්, කතෝලික ජනතාවත් විරසක වෙලා ඉන්නේ එතුමා නිසා. එතුමාව අපේ ආණ්ඩුව ආරක්ෂා කරනවා කියලා ඔවුන් හිතන්නේ. පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වගකියන්න ඕන කියලා කාදිනල්තුමා කියනවා. මේ ක‍තෝලික ජනතාවම අපිත් එක්ක තරහාවෙලා ඉන්නේ. ඒ ඔක්කෝම දරාගෙන ආණ්ඩුවක් හැටියට එතුමාව එකතුකරගෙන අපි මේ යන එකට අපේ ආණ්ඩුවට ස්තූති කරන්න අවශ්‍යයයි. නමුත් එතුමා කරන්නේ මේ සේරම විවේනය කරනවා. එතුමාගේ වැරදි වහගන්න දිස්ත්‍රික් මට්ටමේ තියෙන බලමණ්ඩලවලට ගිහින් විවේචනය කරනවා. එතුමා විශ්වාස කරපු හැම කෙනෙකුටම එතුමා කළේ අවිශ්වාසය ගොඩනගපු එකයි. ඒ නිසා තමයි එතුමාව හැම පක්ෂයම ප්‍රතික්ෂේප කරන්නේ. මේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණයි එතුමාව තියාගෙන ඉන්නේ. එතුමාට ගිහිල්ලා එතුමාගේ කණ්ඩායම එක්ක ගිහින් විවේචනය කරන්න පුළුවන්.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තමයි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කළේ. නමුත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එදා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා නැත්තට නැති කරද්දි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කළේ, එකතු කරගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජානාධිපතිතුමා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෝ ගමින් ගමට ගිහිල්ලා‍ එකතු කරන්න සිදු වුණේ එතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුණු විසුණු කරපු නිසා. එතුමා හැම කෙනෙක් එක්කම එකතුවෙලා එතුමාගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළා මිසක් රට ගැනත්, පක්ෂය ගැනත්, ජනතාව ගැනත් හිතුවේ නෑ. අපි දැඩි විරෝධයත්, එතුමාට අප්‍රසාදයත් පල කරනවා.

මව්රට