ඉන්ධනත් නෑ - ජලාශත් හිඳෙයි - විදුලි කප්පාදුවට අවසර !

ඉන්ධනත් නෑ - ජලාශත් හිඳෙයි - විදුලි කප්පාදුවට අවසර !

මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අද(21) දිනයේ සිට විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තාවේ.

මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍යය වෙත් අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.

විදුලි කප්පාදුවට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ ප්‍රමාණවත් ලෙස ඉල්ලුම සපුරාලීමට තරම් විදුලිය නිෂ්පාදනයක් සිදු නොවීමය.

ඒ අනුව අනුව දකුණු පළාත තුල පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලයේදී පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

සෙසු පළාත්වල පෙරවරු 08.30 සිට පස්වරු 07.30 දක්වා කාලසීමාවේදී පැයක විදුලි කප්පාදුවක් කලාප වශයෙන් සිදු කිරීමට අනුමැතිය ලබා දී ඇති බවද ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

වික්ටෝරියා පතුලට හිඳිලා !

මේ අතර මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී යමින් ඇති බවත් වාර්තා වෙයි.=

ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජලය මුදා හැරීම සඳහා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ගබඩා කර ගන්නා ප්‍රධාන ජලාශයක් වන වික්ටෝරියා ජලාශයේ ජලය දිනකට ඝණ මීටර් ලක්ෂ ගණනින් සිඳි යමින් පවතින බව මහවැලි අධිකාරියේ උසස් නිලධාරියෙකු පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහත වැටී පැරැණි තෙල්දෙණිය නගරය මතු වීමට ආසන්නව පවතින අතර සිඳි යමින් පවතින ජලාශය දැක ගන්නට විශාල පිරිසක් එන බවද වාර්තා වෙයි.

තෙලුත් නෑ !

එසේම මේ වන විට බලාගාර වෙත තෙල් සැපයීම ඇණහිට ඇති නිසා ඒවා ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් මතුව ඇත.

තවදුරටත් ඛනිජ තෙල් සංස්ථාව වෙත ණය නොදෙන ලෙස බැංකු වෙත මහ බැංකුව විසින් නියෝග කර ඇති අතර , ඛනිජ තෙල් සංස්ථාව ද පවසන්නේ මුදල් නොමැති නම් ඉදිරියට විදුලි බල මණ්ඩලය වෙත ඉන්ධන නිකුත් නොකරන බවයි.

 

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න